අම්මාගේ කන්දොස්කිරියාව
තවත් අසා සිටිනු නොහැකිව
ඉලුක් පැලට තාත්තා ගිනි ඇවිලුව දවසේ
මගේ කඳුළු කිසිවෙකුත් දුටුවේ නැත
යක්ෂාවේශ වූ කරගැට යකඩ දෑත්
අම්මාගෙ ගෙල කිටි කිටියේ සිරකරද්දී
මා සිහිසුන්ව වැටුන අන්ධකාර රැයක
ඇතිවූ බිහිසුනු තුවාල
තවමත් රිදුම් දෙයි හැම රෑක
පිස්සියක මෙන් මා ඉවතට තල්ලු කොට
අම්ම මැරෙන්නට ගිය හැම රෑක
දුකින් පීඩිතව අඬනවා හැරෙන්නට
වෙන කුමක් කරන්නද
කිසිවෙකුගෙන් කිසිම දින
මා නොලද සෙනෙහස
ඔබෙන්ද සොයාගත නොහැකිව
විඩාවට පත්ව වේදනාවෙන් ඇවිලෙන
මගේ මේ හදවත
කිසිවෙකුත් නොදකිනු ඇත
අනූ