සමහර චිත්‍රපට තියනවා හරියට මූණ බලන කණ්නාඩි යක් වගේ. ඒවා දිහා බලන් ඉන්නකොට අපිට පේන්නෙ අපේ ජිවීතය. සමහර වෙලාවකට හිතෙන්නේ ඒ වීදුරු කණ්නාඩිය කෑලි කෑලි වලට බිඳලා දාන්න.ඒත් ඒ අපේ ජිවීතය. සමහර තැන් ආදරයෙන් වැළඳගන සමහර තැන්වල මහ හයියෙන් අඬා වැටෙන එක තමයි කරන්න තියන හොඳම දෙය.
මේ කතාව කොහම කියන්නද කියලා මට තේරෙන්නෙ නෑ. අම්මලා දෙන්නෙක් ගැන කියන්නද පුත්තු දෙන්නෙක් ගැන කියන්නද එහෙම නැත්තන් ප්‍රේමවන්තයෝ හතර දෙනෙක් ගැන කියන්නද..
කුඩා කාලයේ සිටම ඉතා ළබැඳි මිතුරියන් දෙදෙනෙක් මැදිවයසට ලඟා වෙමින් ඉන්නවා.මැදිවයස කියන්නෙම මහා යුද්ධයක් ඉවරවෙච්ච සංග්රාම භූමියක තියන මහ අමුතු හුදකලාවක් වගේ.හැමතැනකම මැරිලා වැටිලා තියෙන්නේ බලාපොරොත්තු සහ සිහින වෙන්නට පුලුවන්. එවැනි මොහොතක පුංචි හරි බලාපොරොත්තුවක් ඇති ඉස්සරහට ඇවිදගන යන්න.
මිතුරියෝ දෙන්නට ඉන්නෙ නව යෞවනත්වය කැරලි ගසන පුත්තු දෙදෙනෙක්. ප්‍රමාණාත්මක වෙනස ගුණාත්මක පිම්මක් පැනපු එක්තරා මොහොතක ඔවුන් හතරදෙනාගේ ජීවිත උඩුයටිකුරු වෙනවා. මිතුරියන් දෙදෙනා ඔවුනොවුන්ගේ පුත්‍රයන් සමඟ ප්‍රේමයෙන් වෙලෙනවා. ආලයෙන් සරාගයෙන් ඉදිරියට ඇදෙන ඔවුනොවුන්ගේ ප්‍රේම කතන්දරය කොතනින් කෙලවර වේද?….
පුංචි සන්දියේ ඉඳන් අම්මලත් එක්කම ජීවත් වෙච්ච යෞවනයෝ දෙන්නෙක්ට තමන්ගේ අම්මගේ වයසෙම ගැහැනියක් සමඟ ප්‍රේමයෙන් වෙලෙන්නට සිතීම අතිශයින්ම සංකීර්ණ මානසික තත්වයක්. ඒත් ප්‍රේමයේ හැටි එහෙමයි. ජීවිතේ හැටි එහෙමයි……
දස දහස් සැරයක් මුහුද දැකලා තිබුනත් මුහුදක් ලඟින් යන හැමවෙලාවකම අපිට මුහුද දිහා බලන්න හිතෙනවා. මුහුද කියන්නේ ඒ තරම් මිනිස් මනසට සමිප දෙයක්. හරියට මැජික් එකක් වගේ මුහුදට පුලුවන් ජීවිතයේ සියලු දුක් වේදනා එක් ක්ෂණයකින් අතුරුදහන් කරලා දාන්න. . ..
චිත්‍රපටය ආරම්භ වෙන්නෙත් අවසන් වෙන්නෙත් මුහුදත් එක්ක. මානව සම්බන්ධකම් මුහුදේ තියන අයිස් ග්ලැසියරයක් වගේ. ඈත සිට බලන්නෙකුට පෙනෙන්නේ ඉතාම කුඩා අංශුවක් පමණයි. නමුත් ගැඹුරට බැලුවොත් පේනේවි කොයි තරම් දේවල් සැඟවිලා තියනවද වග.