Jigarthanda
පලවෙනි කතාව…
කාර්තික් තමන්ගේම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට දිවා රෑ සිහින දකින්නෙක්. ඔහුගේ නිෂ්පාදකයාට ඇවැසිවන්නේ ගැන්ග්ස්ටර් පන්නයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමට.මෙතෙක් කල් නිර්මාණය නොකෙරූ කතාවක් නිර්මාණය කිරීමට කාර්තික් යනවා මැරයන් සොයා පාතාල ලෝකය වෙතට.කාර්තික්ට ඕනී මෙතෙක් කල් ප්‍රේක්ෂකයා නොඅසපු මැරයෙක්ගේ කතාවක් තිරය මත්තේ දිග හැරීමට.
මදුරෙයි නගරයේ ඇසෝල්ට් සේදු භයානක අපරාධකාරයෙක්. සේදු සහ ඔහුගේ මැර කන්ඩායම සිදුකල අපරාධ අතිශය බරපතළයි . මිනීමැරීම් මංකොල්ලකෑම් ගනන්කල නොහැකි තරම්. කාර්තික් සහ ඔහුගේ මිත්‍රයාගේ වෑයම සේදුට කෙසේ හෝ සේන්දු වීම. පලමු කඩයිම පැන්නූ පසු කාර්තික් සේදුගේ සහ ඔහුගේ කන්ඩායමේ තොරතුරු එකතු කරනවා ඔහුගේ නිර්මාණයට. නමුත් එක් මොහොතක සිද්ද වෙන්නේ නොසිතූ දෙයක් …..
දෙවෙනි කතාව….
ගැන්ග්ස්ටර් ශානරයේ චිත්‍රපට ඔබ නරඹා ඇතිබවට කිසිදු සැකයක් නෑ. මිනිමැරුම්, මංකොල්ලකෑම්, පලායෑම් , පවාදීම් , මැරයන් ඔවුන්ගේ ජීවිත …
නමුත් Jigarthanda මේ සියලු දේ අභිබවමින් චිත්‍රපටය වෙනත්ම මානයකට රැගෙන යනවා.
විශාල තරඟකාරිත්වයක් තිබෙන ඉන්දියානු සින්මා කර්මාන්තයේ කුළුඳුල් අධ්යක්ෂකවරයෙක්ට තම නිර්මාණය රිදී තිරය මත්තේ දිගහරිනකන් තිබෙන ක්‍රියාදාමය ඉතාම දුෂ්කර එකක්. නිෂ්පාදකයගේ ඉඳන් නලු නිලියන්ගේ ඉඳන් මේ සියල්ලම එක අරමුණක් දිහාට ඇරගන යන එක අමාරු වගේම අවදානම් දෙයක්. නමුත් කොතෙකුත් දුෂ්කරතාවයන් තිබ්බත් නිර්මාණකාරයෙක්ට බෑ තමන්ගේ ඔලුවේ තියන නිර්මාණය එලියට නොදා ඉන්න.
කලාව කුමකටද ?
සිනමාව වගේ මිනිස්සුන්ගේ ජීවිතයට බලපෑම එල්ල කරන්න පුලුවන් කලාවකින් කුමක්ද විය යුත්තේ කියන කාරණයයට Jigarthanda චිත්‍රපටය ඉතා වැදගත් උත්තරයක් අප හමුවට ගේනවා. කලාව කුමකටද යනුවෙන් සංවාදයක් මීට කාලයකට කලින් ලෝකය පුරා හමාගන ගියා. සෝවියට් සාහිත්‍ය කඳවුර මේ ප්‍රශ්නයට ඉතාම දියුනු පිළිතුරක් සැපයුවා. ඔවුන්ගේ උත්තරය වුනේ කලාවෙන් විය යුත්තේ මිනිසා වඩාත් යහපත් දිශාවකට රැගෙන යෑම කියලා. තෝල්ස්තෝයි,ගෝර්කි, ආයිත්මාතව ඇතුලු විශාල නිර්මාණකරුවන් පිරිසක් ලෝකයක් වඩාත් යහපත් කිරීමට තමන්ගේ නිර්මාණවලින් මිනිස් සමාජයට උත්ප්‍රේරණය ගෙන ආවා. Jigarthanda අපට කියාදෙන්නෙ ඒ පිළිතුර. ඕනීම දරුණු හදවතකට උනත් කලාව ඉස්සරහදී තමන්ගේ මනුෂ්‍යත්වය විවර කරන්න සිද්ද වෙනවා .
තවත් පැත්තකින් චිත්‍රපටයේ කතාකරනවා නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණය වෙනුවෙන් කොයි තරම් කැපකිරීමක් කරන්න වෙනවද කියන කාරණය. එක් තැනෙක මෙහෙම දෙබසක් තියනවා.
” චිත්‍රපටය බලන මිනිස්සු හිනස්සවන්නනම් නිර්මාණකාරයාට අඬන්න සිද්දවෙනවා”
සේදුගේ චරිතයට පණපොවන බොබී සිම්හා විශිෂ්ට රංගනයක යෙදෙනවා. ගුරු සෝමසුන්දරම් කොතරම් අති විශිෂ්ට නලුවෙක්ද කියන වග ඔබට වැටහේවී මෙහි ඔහු කරන සුලු චරතයෙන් උනත්. ඔහු එතරම් විශිෂ්ට නලුවෙක්. මේ සියලු චරිත උලුප්පමින් කාර්තික් ලෙස සිද්ධාර්ත්ගේ අනඟි රංගනයක් ඔබට දැකගන්නට ලැබේවි……