පන්සල පැත්තේ ඉඳන් මහා කන්දක් බැහැගන එන පස් පාර සොහොන ලඟදී එක් විටම ඇලත් එක්ක සමාන්තරව තව කොලෝමීටරයක් විතර කිසිදු බැස්මක් නැග්මක් නොමැතිව ගිහින් කඩමණ්ඩිය අයිනෙන් අවසාන වෙනවා. ඊට පෙර දවසේ කැලෑ පැනලා ඇතිවෙච්ච තුවාල තැවරිච්ච මඩත් එක්ක නින්දට යන අපේ ශරීර කූඩු පහුවෙනිදා උදෑසනම පිරිසිදු කරන්නේ මේ පස් පාරක් එක්ක දුවන පුංචි ඇල. ඒ උදෑසනවල්වල සීතල වතුර පුංචි කකුල් සිපගන්නකොට ඇතිවෙච්ච දැවිල්ල තාමත් දැනෙනවා වගේ. මුහුණ කට දෝවනයෙන් පසුව පොත් කිහිපයක් දාලා තිබ්බ සිලි බෑගය වට හයක් හතක් කැරකවිලා පිට මැද්දෑවට වැටෙනවා. ඒ සිලි බෑගය ඇතුලේ තියන පොත් මහා අනෝරා වර්ෂාවකටවත් තෙමන්න බෑ. ආපහු ඉස්කෝලේ ඇරිලා එන ගමනෙදිත් මේ කිලෝ මීටරයක් දිගැති පස් පාරේ අපි යන්නේ ඉබ්බොන්ටත් වඩා හිමිහිට. අහෝ ජීවීතය අපිට තිබ්බේ ඒ මොහොතවල්වල සදහටම නවතින්න.
………………. …….
ජීවීතයේ මතක ගබඩාවේ මේ කිලෝ මීටරය විසින් ගබඩා කරලා තියෙන්නේ කිලෝ මීටර මිලියනයක විතර දිග මතක. සමහර මතකයන් අලෝක වර්ෂ මිලියනයක් මේ ග්රහලෝකයෙන් එහාට ගියත් අමතක කරන්න බෑ. ඒ වගේ අදටත් දරාවත නොහැකි වේදනාබර මතකය තමයි ඕලූ.
………………………
ඕලුගේ ගෙදර තිබ්බේ මේ පස් පාරේ අංශක අනූවට හැරිච්ච වංගුවට පහළින්. ඕලූ හිටියේ අපේ පන්තියේ. පහ වසර ඉවරවෙලා හය වසරට යනකොට ඕලුත් යන්න ගියා ගමේ ඉස්කෝලේන්. එහෙම ගියපු ඕලුව දකින්න ඊට අවුරුදු ගානකට පස්සේ මං පෙරමඟට වෙලා බලාගන හිටියා. තාමත් කොණ්ඩ කරල් දෙකක් බැඳගන පොත් මිටියත් අතේ තිගාගන ඕලූ ආපු හැටි අතිශය පැහැදිලි චිත්රයක් වගේ මැවිලා පේනවා. දවස් කිහිපයක වචන කිහිපයකට පස්සේ ඕලුව මඟ හැරිලා ගියේ අර ඇලට දාපු කොළයක් වගේ.
………………….
ඊටත් කාලයකට පස්සේ තමයි ඒ නරුම නපුරු ආරංචිය ගම හැමතැනකම පියාඹගන ගියේ.
” ඕලූගේ තාතතා ඒ මල් කැකුළ තලලා පොඩි කරලා”
ඇත්තටම ඒ ආරංචිය ගියේ විස කවපු භයංකාර වචනත් එක්ක. පොල් ගෙඩි හිසක් තිබ්බ ඒ යක්ෂය බඹරා පුංචි ඕලූ මල තලලා පොඩිකරලා රොන් බීලා. එතනින් එහාට සිද්ද වෙච්ච දේවල් මහ වැස්ස දවසක ඇලට වැටිච්ච කොළයක් වේගෙන් පහලට යනවා වගේ සිද්ද උනා. පොලිසිය ගෙදරට ආවා. යක්ෂයට මාංචු වැටුනා. ඕලුගේ ගෙදරට ගමේ මිනිස්සු අතින් ගල් විසි උනා. අපිට ඕලූව මඟ හැරුනා.
……………………
ඒ පස් පාරට යට ඕලූගෙ මතකය තාමත් හිත ඇතුලේ හොල්මන් කරනවා.ඒ වැරදිකාර සිතුවිල්ල හිත කීරී ගස්සනවා. ඒ පුංචි කලු කෙල්ල, දිලිසෙන ඇස් දෙකක් තිබ්බ ඕලු මල අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ සියුමැලි පෙති පොඩිවෙනකොට කොහම දරාගන ඉන්න ඇත්ද… කිසිවෙකුත් කිසිවක් දැන නොසිටියේ ඇයිද…. අපේ යෙහෙළිය ඒ අඳුරු ගුහාවෙන් එළියට නොගෙන් අපි කරමින් සිටියේ කුමක්ද …. ඉතිං මිතුරිය මගේ යෙහෙළිය මේ පශ්චාත්තාපීය අකුරු නුඹ දකීදැයි නොදනිමි. ඊට කෙසේ ප්රතිචාර දක්වාවිදැයි නොදනිමි . මිතුරිය දහස්වර සමාවන්න එකදු වචනයක්වත් නොදොඩා බලා සිටියාට……
අනූ
