අම්මා සහ මිනිමැරුම

අම්මා සහ මීනිමැරුම

නාගොඩ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වෙතට වැටී ඇති කොරිඩෝව මතින් වේගයෙන් ඇදෙන ට්‍රොලියකි. මළකඩ විසින් ආක්‍රමණය කරමින් තිබූ ට්‍රොලියේ රෝද කිරි කිරි ශබ්දයක් නඟන්නට විය. රෝදවලින් නැඟුනු ශබ්දය හැරෙන්නට ඒ රාත්‍රියාමයේ රෝහල තුල කිසිදු ශබ්දයක් නොවීය. කොරිඩෝව දෙපැත්තේ ආලේප කර තිබූ අඳුරු කොළ පාටත් කොරිඩෝවත් වාට්ටුවත් අතර තණ බිස්සේ එළා තිබූ සුදු රෙදිත් ඒ රාත්‍රිය මූසල එකක් බවට පත් කළේය. ට්‍රොලිය තල්ලු කරමින් සිටි මැදිවියේ පිරිමියාගේ ඇස් නිදිමතින් තඩිස්සි වී තිබුන අතර පැයකට පමණ පෙර දමාගත් බුලත් විටක් කට දෙපැත්තට මාරුවෙමින් සිටියේය. ට්‍රොලිය ඇදෙන වේගයට සමාන්තරව රෑ පින්න ස්නානය කරමින් සිටි තණකොළ වෙතට ඔහු රක්ත වර්ණ බුලත් කෙළ පහරකින් සංග්‍රහ කළේය. ඒ අතර තම මිතුරියගේ වැඩමුරයද නිමකරමින් සිටි හෙදිය ට්‍රොලිය ඉදිරිපසින් අල්ලාගන ඉදිරියට දුවමින් සිටියාය. මීට දවසකට පෙර දිලිසෙමින් තිබූ ඇයගේ නීල වර්ණ ඇස් දෙක නිදිමතින් මළානික වී තිබුනේය. මේ තුරුණු හෙදියගේ මළානික ඇස් වලින්ද ට්‍රොලිය තල්ලු කරමින් සිටි පිරිමියාගෙන්ද කොරිඩෝවේ බිත්තිවල අතුරා ඇති අඳුරු කොළ පැහැයෙන්ද තණකොළ බිස්සෙන්ද කොහේදෝ ඈතකට වුන ට්‍රොලියේ වැතිර සිටි ගැහැනිය අපහසුවෙන් හුස්ම ගනිමින් ට්‍රොලියේ දඟලමින් සිටියාය.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ අයිනකට වෙමින් සිගරට්ටුවක් උරමින් සිටිනා විට හදිසියේම සභා ගැබ දෙසින් මහා ශබ්දයක් ඇසෙන්නට විය. නිතර අසා ඇති මේ කරච්චලය ගනන් නොගත් මම තවත් දුම් උගුරක් අදින්නට පටන් ගත්තා පමණි කොහේදෝ සිට පැමිණි පොලිස් නිලධාරියෙකු කෑ ගසමින් මා අසළින් දිව ගියේය.

” බෝම්බයක් යකෝ එළියට දුවපන්”

මම වහා එළියට පැන දුවන්නට පටන් ගතිමි. නමුත් මීටර සීයක්වත් දුවාගන්නට හැකිවූයේ නැත.දෙපා අඩපණ වී මහා මහන්සියක් දැනෙන්නට විය. තව එකදු අඩියක්වත් ඉදිරියට යාගනු නොහැකිව මම තණ බිස්සක් මත වාඩි උනෙමි. මේ අතර සභා ගැබේ දෙසින් මැති ඇමතිවරුද ඔවුන්ගේ ආරක්ෂකයන්ද එළියට දිවඑමින් සිටියේය.

” බෝම්බයක් බෝම්බයක්”

ඔවුන් බියෙන් තැතිගනිමින් කෑ ගසන්නට විය. ඔවුනතර ඇමතිතුමා කොහේදැයි සොයන්නට උත්සහ කරන විට මට යම්දෙයක් පැහැදිලි විය. මේ සියල්ලක්ම එළියට දිව ආවේ නිරුවතනි. මම ඒ ඇසිල්ලේම මා දෙස බැලුවෙමි. පුදුමයකි! මා සිටියේද නිරුවතනි. නමුත් තව මොහොතකින් සිදුවූයේ මහා පුදුම දෙයකි. බෝම්බ බියෙන් ඇළලී තිබූ දියමන්නා පාර්ලිමේන්තු භූමිය ඇසිල්ලකින් උත්සව සිරියෙන් දෙදරන්නට විය. පකෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් වීදුරු එකිනෙක හප්පමින් සව්දිය පුරන්නට විය. කෙනෙකු අත විස්කි වීදුරුවක්‍ ය. තවකෙකු අත වයින් වීදුරුය. සමහරුන් අත විස්කි බෝතල් ය. ඔවුන් සියල්ලක්ම සව්දිය පුරමින් ගී ගයමින් නර්තනයේ යෙදෙන්නට විය . මේ පිරිස මැද්දෑවෙන් එක්වරම මතු වූ ඇමතිතුමා මා දෙසට දිව එන්නට විය.

” වරෙන් වරෙන් අපිත් එක්ක නටන්න”

යැයි පවසා විස්කි බෝතලයක් මා දෙසට විසිකොට යලිත් පිරිස සමඟ එක්විය. මමද බෝතලය උගුරට දෙකට හළා ගනිමින් පිරිස මැදට පැන නටන්නට වූයෙමි. එක්වරම පිරිස අතර කළබලයක් ඇති විය. විපක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු තරුණ මන්ත්‍රීවරියක කර තබාගන ගඟ දෙසට දුවන්නට විය . මෙය දුටු අන් සියල්ලෝම කෑ ගසමින් ප්‍රීතිගෝෂා කරමින් ඔවුන් දෙදෙනා පසුපස දිවයන්නට විය. සියල්ලකම දිවගොස් දියමන්නා ගඟට පැන කෑ ගසන්නට විය. මමද ඔවුන් පසුපස ගොස් ගඟට පැන්නෙමි.

ගඟට පැන්නා පමණි කවුදෝ ගැහැනියකගේ විලාප හඬකින් මම තිගැස්සී ඇහැරුණෙමි. මොහොතකට පෙර දුටු විකාර සිහිනයටද වාටුටුවත් සමඟ ඇති කොරිඩෝවේ ට්‍රොලියක දමා සිටි ගැහැනියටද ශාප කරමින් අතපුරා වෙළා තිබූ වෙළුම් පටි දෙස මා බලා සිටියේ කේන්තියෙනි. මීට දවස් කිහිපයකට පෙර නිදිපෙති ලබාදීම නැවතූ ඩොක්ටර් වසන්ත ට මම හිත යටින් බැණ වැදුනෙමි. මෙයට සති තුනකට පමණ පෙර පෝස්ටර් වගයක් රැගෙන යමින් සිටි අපේ ජීප් රථය පයාගල රේල් ගේට්ටුව හරියේදි සුමිත් අයියාට අකීකරු විය. අප දෙද්නා සිටියේද මද පමණට රත්වීගනය. වංගුවෙන් පිටතට විසිවූ ජීප් රිය අසළ තිබූ ගසක වැදෙනවා මට යාම්තමින් මතකය. සිහිය එන විට මා සිටියේ නෝගොඩ රෝහලේ ඇඳක් මතය. දකුණු අත තුන් පොළකින් බිඳී තිබුනි. සුමිත් අයියාට එතරම් තුවාලයක් වී නොතිබූ අතර මා ජීප් රියෙන් එළියට විසිවී අසළ තිබූ පෙට්ටි කඩය මතට ඇදවැටී තිබුනි.

පිරිමින් දෙදෙනෙකු එක්ව අර ගැහැනියව ට්‍රොලියට තබා බැඳ දැන්මේය. ඇය යක්ෂයෙකු ආරූඩ වූවා සේ දඟලන්නට විය. ගැහැනිය විලාප තැබූවේ පනින්ටුවක දියකර තිබූ සුදු පාට ද්‍රාවණයක් ඇයගේ මුව තුලට දමන විටය. මේ ද්‍රාවණය පිළිගැනීමට ගැහැනියගේ ශරීරය කිසිවිටකත් සුදානම් වූයේ නැත. බුලත් විටක් හපමින් සිටි පිරිමියෙකු ඒ දියරය ඇයට පොවනා සෑමවිටකම ඇය එය ඉවතට විසිකර දැමුවාය. විනාඩි කිහිපයකින් දියරය පෙවීමේ උත්සහය අත්හැර දැමින. ඉන් පසු ආරම්භ වූයේ බලා සිටීමට අපහසු දර්ශනයකි. තරුණ වෛද්‍යවරයෙකු විසින් කුඩා බටයක් ගෙන ඇයගේ නාසය තුලින් ඇතුලට තල්ලු කරන ලදී. ඉන් පසු එයට යම් බෙහෙතක් දමා ගැහැනියගේ ශරීරය තුලට ඇතුල් කෙරින. මෙවර එය තරමක් සාර්ථක බවක් පෙනෙන්නට විය. බටය තුලින් රුධිරය එළියට ගලාගන ආවද ටික වේලාවකින් ගැහැනිය නිශ්චල විය. තරුණ හෙදියක විසින් යම් බෙහෙතක් එන්නත් කල පසු ඔවුන් සියල්ලක්ම ට්‍රොලියද ගෙන ගැහැනු වාට්ටුව දෙසට ගමන් කරනු මම අඩ නින්දෙන් මෙන් බලා සිටියෙමි.

” මල්ලි අංජන නැඟිටපන්”

මම අඩ නින්දේම ඇස් ඇර බැලුවෙමි. ඒ සුමිත් අයියා ය. මම දුරකතනය ගෙන බැලුවෙමි. වෙලාව පහ පසු වී විනාඩි හතළිහකි.

” කොහමද දැන් උබේ අත. ඩොකටර් වසන්ත මංත්‍රීතුමාට කියලා තිබ්බා තව සතියකින් විතර උබට එන්න පුලුවන් කියලා. “

ඩොක්ටර් වසන්ත ඊයේ වාට්ටුවට ආවද මේ බවක් මට කීවේ නැත.

” මෙන්න උබ ආසම බිත්තර රොටී ෆාසිල් ගෙ නයිට් කඩෙන් ගෙනාවා. දවල්ට ඔෆිස් එකේ නයනා අක්කා උබට කෑම එකක් ගෙනත් දේවි “

යැයි පවසා මා දෙසට අමුතු හිනාවක් එක්ක කළේය. මොහතකට මට නයනා අක්කාගේ විශාල පපුවත් බුලත්සිංහල පැත්තේ පාලු ගෙයකුත් මතක් විය.

” උබ දන්නවනේ මංත්‍රීතුමාට හුස්මක් කටක් ගන්න වෙලාවක් නෑ. සමහරවිට ආයෙත් එයි උබව බලන්න . මෙන්න මේක තියාගනින් “

ගෝල්ඩ්ලීෆ් පැකට්ටු දෙකක් මා අත තැබූ සුමිත් අයියා හදිසියෙන්ම ආපසු යන්නට ගියේය.

බිත්තර රොටී හතර උණු උණු මස් හොදිත් සමඟම පෙරේතකමින් ගිල දැමූ මම සිගරට්ටුවක් උරන්නට කොරිඩෝව කෙළවරේ පිටිපස්සට වෙන්නට තිබූ බිත්තියට මුවා උනෙමි. ඩොක්ටර් වසන්ත සමඟ සිගරට්ටුවක් බොන්නට කිහිපවරක්ම සිතුනු නමුත් ඒ අදහස අත්හැර දැන්මේ අප අතර එතරම් මිත්‍රත්වයක් වර්ධනය වී නොතිබුනු නිසාය. මංත්‍රීතුමාත් ඩොකටර් වසන්තත් සමඟ දෙතුන් වරක් බෝතල් කිහිපයක් හිස්කර දැමූවත් අප අතර එතරම් කතා බහක් ඇති වූයේ නැත. මංත්‍රීතුමා සහ ඩොක්ටර් වසන්ත අතර පැය ගනන් වාද විවාද ඇදී ගිය නමුත් ඒවාට හවුල්වෙන්නට තරම් හිතක් පහළ වූයේ නැත…

දෙවන සිගරට්ටුවද දල්වා ගත් මම ඊයේ රෑ වාට්ටුවට ගෙන ආ ගැහැනිය ගැන කල්පනා කළෙමි. ඇයට කුමක් වන්නට ඇතිද ? බාගෙට ඉරූ සිගරට් කොටය කානුවට විසිකෙරූ මම කොරොඩෝව දිගේ ගැහැනු වාට්ටුව දෙසට ඇවිද ගියෙමි. වාට්ටුවේ කොනක තිබූ ඇඳක අර ගැහැනිය නිසොල්මනේ වැතිර සිටියාය. කොරොඩෝවේ කණුවකට හේත්තු වූ මම ගැහැනිය දෙස බලා සිටියෙමි. ගැහැනියගේ මළානික දෑස් කිසිදු එල්ලයක් නොමැතිව සිවිලිම දෙස බලා සිටියාය . ශරීරයද කිසිදු චලනයක් නොදක්වා ඔහේ වැතිර සිටියාය. ඇයව පෙනුනේ බොහෝ කුණාටුවලට මුහුණ දී ඉරී ගිය තවත් පුංචි සුළඟකටවත් මුහුණ දීගන්නට තරම් ශක්තියක් නැති ඉරුණු රුවලක් මෙනි. එක්වරම පිටුපසින් ඇසුනේ ගැහැනු කටහඬකි.

” ඔය ගෑණි ඊයේ මේක දෙවනත් කෙරානේ මහත්තයෝ. වහ බීලා. බොහොම අමාරුවෙන් බේරගන තියෙන්නේ”

මම එය දන්නවා සේ හඟවන්නට මෙන් ඔලුව වැනුවෙමි.

” දුවටත් පොවලා අම්මත් බීලා. කෙල්ල නම් ගේනකොටම මැරිලලු”

කිසිවක් නොකී මම මේ කටසැර ගැහැනියගෙන් මිදෙනු පිනිස මගේ වාට්ටුව දෙසට ඇවිද ආවෙමි. එන අතරතුර ඒ දෙස බැලු විට ගැහැනිය මා දෙස නුරුස්නා බැල්මකින් බලා සිටිනු පෙනෙන්නට විය. බොහෝ දුරට ඇයට කිසිවක් නොකියා ආ නිසා විය යුතුය. ඇඳට වැටුනු මම කියවන්නට ගෙනා පොත ඔඩොක්කුව මත තබා කියවන්නට උත්සහකළ නමුදු මට අර ගැහැනියත් ඇයගේ දියණියත් ඔලුවේ එහා මෙහා ගමන් කරන්නට විය. ඇයි ඒ ගැහැනිය දියණිය මරා දමා ඇයගේ සියදිවි නසාගන්නට උත්සහා කලේ!!!

එදින රාත්‍රියේද පෙනුනේ මහ විකාර හීනයක් ය. මෙවරද පාර්ලිමේන්තුව බෝම්බ බියකින් ඇළලී තිබුන අතර බෝම්බය ගෙන ඇවිත් තිබුනේ අර ගැහැනියය. ඇය තමන්ගේ ළමයාත් බෝම්බයත් බඩ මැදට තබා බැඳගන සිටියාය. එක්වරම ළමයාත් බෝම්බයත් අතුරුදහන් වී ගැහැනිය නිරුවත් විය. මැති ඇමතිවරුන් සහ ආරක්ෂකයන් ආයුධ සන්නද්ධ ව ඇය පසුපස හඹාගන ගියෝය. මේ විකාර සිහිනයට පසු මට කෙසේවත් නිදාගන්නට බැරිවිය . මම රහසින්ම කොරොඩෝව කෙළවරේ බිත්තිය ට මුවාවී සිගරට්ටුවක් උරන්නට පටන් ගත්තෙමි. ගැහැනියත් දරුවාත් ඔලුවෙන් අයින් කරගනට කොතෙකුත් උත්සහ කලත් සාර්ථක වූයේ නැත. කෙසේ හෝ මේ ගැන තොරතුරක් ඩොක්ටර් වසන්ත හරහා දැනගන්නට මම සිතා ගත්තෙමි.

ඉන් හරියටම දවස් හයකට පසු නවයේ වාට්ටුවේ දහතුන්වෙනි ඇඳට සමුදී මම නාගොඩ හංදියට ආවෙමි. ටිකට් කපන්නට පෙර දින රාත්‍රියේ මංත්‍රීතුමා මට කතා කලේය.

” අංජන උබ එහෙනන් ගෙදර ගිහින් දවසකින් දෙකකින් වරෙන්. ඔෆිස් එකේ සල්ලි වගයක් ඇති ඒකත් අරන් පලයන්. මේ පාර අපි උඩින්ම දිනනවා බන් “

කාර්‍යාලයට ගොස් නයනා අක්ක අත තිබූ රුපියල් තිස් දහසද ගෙන බ්ලැක් ලේබල් බෝතලයක්ද ගෙන හීනටියන්ගල පාර දිගේ පයින්ම ගෙදරට ආවෙමි. ගෙදරට ආ පසු මුලින්ම කලේ දුරකතනය ක්‍රියා විරහිතකර දමා හොඳ හැටි නාගන බ්ලැක් ලේබල් වීදුරු තුනකටද වගකියා හොඳ නින්දක් නිදා ගැනීමය. දවස් තුනකට පමණ පසු කලුතරින් පළාතොට පාරේ බසයකට නැඟුනු මම ඩොක්ටර් වසන්ත සොයා දුන් මංසලකුනු ඔස්සේ අර ගැහැනියගේ නිවස සොයා යෑමට පිටත් උනෙමි. පැයකට පමණ පසු බසය ගමනාන්තයට ලඟා වූ පසු එතැන් සිට නිවස සොයාගන්නට පැය එක හමාරක් පමණ වෙහෙස වූ නමුත් පලක් වූයේ නැත. තුංමං හංදියකට වෙන්නට තිබූ කුඩා කඩයකට ගොඩ වැදුනු මම සිගරට්ටුවක් දල්වා ගත්තෙමි. කඩයේ සිටි මිනිසාගෙන් ගැහැනිය ගැන විස්තර ඇසුවද ඔහු මුලින් මා වෙත හෙලුවේ නුරුස්නා බැල්මකි. නමුත් තවත් සිගරට්ටුවක් දල්වාගත් පසුව ඔහු ගෙදරට යන මාර්ගය විස්තර කර දුන්නේය .

” මහත්තයෝ ඔය ඉස්සරහ තියෙන පස් පාරෙන් කෙළින්ම ගියාම මහ විශාල කොස් ගහක් හම්බවෙයි. එතනින් දකුණට තියෙන අඩිපාර දිගේම ගිහින් හම්බවෙන උණ පඳුර ලඟින් වමට හැරිලා ගියාම ඔය කියන ගෙදර හම්බවෙයි. ඒ පාර ඉවරවෙන තැන තමයි ඔය ගෙදර තියෙන්නේ”

අවසන ඔහුගේ විස්තර කිරීම අවසානයේ තවත් වාක්‍යක් එකතු කළේය.

” පව් අර අසරණ කෙල්ල “

කඩය ඉදිරියෙන් වැටි තිබූ පස් පාරේ ගොස් කඩයේ මිනිසා කී කොස් ගස සොයා ගත්තෙමි. ඔහු කියු පරිදිම එය දැවන්ත කොස් ගසකි. පරම්පරා ගනනාවක ඉතිහාසය ඒ ගස දන්නවා විය යුතුය. එතනින් ගොස් උණ පඳුර ළඟින්ද හැරී අවසන ඒ නිවස සොයා ගත්තෙමි. කොස් ගස ලඟ සිට කිසිදු නිවසක් සොයාගත නොහැකි වුවත් ඒ අඩි පාර පාලු බවක් ඉසිලුවේ නැත. කිලෝ මීටර එක හමාරක් පමණ අඩි පාරෙ ඇවිද ආ මහන්සියට මම ගෙදර මිදුලේ තණ බිස්සේ වාඩි උනෙමි. මිදුලේ අයිනකට වෙන්නට තිබුනේ අඹ ගසකි . අඹ ගස යට වාඩිවෙන්නට බංකුවක් ගසා තිබින. බංකුව පාමුල බියර් බෝතල් සහ ගල් බෝතල් කිහිපයක් දමා තිබින. පාර පාලු නොවීමට හේතුව පැහැදිලිය. බැලු බැල්මට ඒ නිවස එක් කාලයක යම් සමෘද්ධිමත් බවක් තිබු බව පෙනෙන්නට විය. වහළයේ තිබූ පරණ සිංහල උලුත් විශාල දොරත් ජනෙල්වලට දමා තිබූ උලුවහු කිහිපයත් ඒ ඉතිහාසයේ සාක්ෂිකරුවන් ය. ඉදිරිපස දොරටුව කවුරුන් හෝ කඩා දමා තිබුන. ඒ සුන්බුන් මතින් මම ගේ ඇතුලට ගියෙමි. ඇතුලුවනවිටම තිබූ සාලයේ තිබුනේ සාලයට තනි රැකි වාරු නැති මේසටකුත් පුටු තුනකුත් ය. ඒ මේසයට් උඩ බිත්තියේ ගසා තිබුනේ රාමූ කෙරූ ඡායාරූපයකි. මම ඡායාරූපය දෙස ඉතාමත් වුවම්නාවෙන් බැලුවෙමි. එහි මැද සිටියේ අවුරුදු තිහක තිස් පහක පමණ තේජවන්ත ගැහැනියක සහ අවුරුදු හතළිහක පමන හැඩි දැඩි පිරිමියෙකි. කාන්තාව දෑත මත අවුරුද්දක් පමන වයස දරුවෙකු විය. දරුරුවන් දහතුන්දෙනෙකු එතන විය. පියා ලඟ සිටි දැලි රැවුල වැවී තිබුනු කොල්ලාට වයස දා හතක් පමන වන්නට ඇත. මේ පිරිසෙන් කවුරුන් හෝ දරුවෙකු අර ගැහැනියගේ මව හෝ පියා වන්නට ඇත. මෙතරම් දැවන්ත පවුලක අර ගැහැනිය පමනක් කාත් කවුරුවත් නැතිව ඉස්පිරිතාලයක ඇඳක් මත වැතිර සිටියි . වැහි වතුර වැටි තැන තැන වලවල් සෑදි තිබුන සිමෙන්ති පොලොව මැදින් ගොස් සාලයේ කෙළවරක සිට තිබුන කාමර පේළියට ඇස් යොමු කෙලෙමි. සාලයත් මුහුනලා තරමක විශාල කාමරයක් තිබුන අතර ඉතිරි කාමර දෙකට යන්නට තිබුනේ පුංචි කොරොඩෝවකනි. අයිනේම තිබු කාමරය කුස්සියට පාවිච්චි කෙරූ එක විය හැකිය. ජනේලය අයිනට වෙන්නට ලිප තිබුන අතර එය කාලයකින් ගින්දර නොදැකූ එකක් විය. ඊලඟ කාමරයේ තිබුනේ දිරාගිය කැබිනට්ටුවකි. මව සහ දියණිය ජීවත් වූ තරමක විශාල කාමරය සාලයට මුහුනලා තිබින. අයිනකට වන්නට ඇඳක් තබා තිබුනු අතර ඇඳ ලඟම තිබුනේ රෝද පුටුවකි. ඇඳට ඉහළින් පරණ කැලැන්ඩරයක හින්දි නලුවෙකු විය. ඒ කවුරුන්දැයි මට නිච්චියක් නැත. ඇඳ මත තිබුන පරණ රෙදිවලින් තාමත් තෙල් බෙහෙත් ගඳක් ක් වහනය විය. මුලු ගෙදරටම සිටි එක්ද්ම ජීවියා වන ටෙඩි බෙයා ඇඳ මත සිටියේය. ඌගෙන්ද තෙල් බෙහෙත් ගඳ දැනෙන්නට විය. ඌගේ පැත්තකින් ඉරී තිබින. මම ඌව අතට ගත්තෙමි. සිදුවූ සියක්ලේම ඇසින් දුටු සාක්ෂිකාරයා ගොලුවතින් මා දෙස බලා සිටියි. ටෙඩි බෙයා මා දෙස බලා සිටිනා විට මම ඌගේ ඉරුණු තැනින් එලියට පැන ඇති කොළ කැබැල්ලක් දුටුවෙමි. එය එළියට ගතිමි. එය කවුරුන් හෝ ලියූ ලියුම් කැබැල්ලකි. මා ගැහෙන හදවතින් එය දිග හැරියෙමි.

” මනුස්ස ආත්මයක් ලැබෙන්නේ පෙර කරපු මහා පිනකට කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වට අපිට මේ ජීවීතේ හමබවෙලා තියෙන්නේ මහා කරුමෙකට මගේ දුවේ. අනේ මගේ දුවේ උබේ අසරණ අම්මට සමා වෙයන්. උබෙයි මගේ පන කෙන්ද රැකගන්න මගේ මේ ශරීර කූඩුව උන්ට වළඳන්න දුන්නට ඒ පාපතරයෝ උබේ ඇඟටත් අත තිබ්බේ අපේ කරුමෙකට දුවේ. ඒක වළක්වන්න හදනකොට මං හොදටම පරක්කුයි. උබ ගෙට වෙච්ච දා ඉඳලා උබේ හැම ලේ බිංදුවක්ම අයින් කරපු මට මාස දෙකක් තිස්සේ ඒක නැවතිලා තියනකොට මට දැනුනේ අපේ ජීවීත ඉවරටම ඉවරයි කියලා . උබෙයි මගෙයි මේ කාලකන්නි ලෝකෙට තවත් හුස්මක් එකතු කරනවට වඩා අපි ඔක්කොම මැරිලා යන එක හොඳයි පුතේ. අනේ මේ අසරණ ගෑනිට ලක්ස වාරයක් සමාවෙයන් මගේ රත්තරන් දුවේ”

මුලු කාමරයම මා වටා කැරකෙන්නට විට. ලියුම විසිකර දමා මා කාමරයෙන් එළියට දිව ගියෙමි. මගේ මුලු සරුවාංගයම ගැහෙන්නට විය. මා තණකොළ බිස්සේ හාන්සි වී සිගරට්ටුවක් වේගයෙන් උරන්නට පටන් ගත්තෙමි. බොඳවුන දෑසින් සිදුවූ සියල්ල එකිනෙක ගලපන්නට උත්සහ කරනා විට දුරකතනය කෑ ගසන්නට විය.

” කොහෙද යකෝ ඉන්නේ කෝල් කීයක් ගත්තද, අපි උඩින්ම දිනුම් . මම දිස්ත්‍රික්කේ වැඩිම ඡන්ද. ඉක්මනට වරෙන් අද හවස පාටිය”

අනූ බන්ඩාර .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s