අම්මා සහ මිනිමැරුම

අම්මා සහ මීනිමැරුම

නාගොඩ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වෙතට වැටී ඇති කොරිඩෝව මතින් වේගයෙන් ඇදෙන ට්‍රොලියකි. මළකඩ විසින් ආක්‍රමණය කරමින් තිබූ ට්‍රොලියේ රෝද කිරි කිරි ශබ්දයක් නඟන්නට විය. රෝදවලින් නැඟුනු ශබ්දය හැරෙන්නට ඒ රාත්‍රියාමයේ රෝහල තුල කිසිදු ශබ්දයක් නොවීය. කොරිඩෝව දෙපැත්තේ ආලේප කර තිබූ අඳුරු කොළ පාටත් කොරිඩෝවත් වාට්ටුවත් අතර තණ බිස්සේ එළා තිබූ සුදු රෙදිත් ඒ රාත්‍රිය මූසල එකක් බවට පත් කළේය. ට්‍රොලිය තල්ලු කරමින් සිටි මැදිවියේ පිරිමියාගේ ඇස් නිදිමතින් තඩිස්සි වී තිබුන අතර පැයකට පමණ පෙර දමාගත් බුලත් විටක් කට දෙපැත්තට මාරුවෙමින් සිටියේය. ට්‍රොලිය ඇදෙන වේගයට සමාන්තරව රෑ පින්න ස්නානය කරමින් සිටි තණකොළ වෙතට ඔහු රක්ත වර්ණ බුලත් කෙළ පහරකින් සංග්‍රහ කළේය. ඒ අතර තම මිතුරියගේ වැඩමුරයද නිමකරමින් සිටි හෙදිය ට්‍රොලිය ඉදිරිපසින් අල්ලාගන ඉදිරියට දුවමින් සිටියාය. මීට දවසකට පෙර දිලිසෙමින් තිබූ ඇයගේ නීල වර්ණ ඇස් දෙක නිදිමතින් මළානික වී තිබුනේය. මේ තුරුණු හෙදියගේ මළානික ඇස් වලින්ද ට්‍රොලිය තල්ලු කරමින් සිටි පිරිමියාගෙන්ද කොරිඩෝවේ බිත්තිවල අතුරා ඇති අඳුරු කොළ පැහැයෙන්ද තණකොළ බිස්සෙන්ද කොහේදෝ ඈතකට වුන ට්‍රොලියේ වැතිර සිටි ගැහැනිය අපහසුවෙන් හුස්ම ගනිමින් ට්‍රොලියේ දඟලමින් සිටියාය.

පාර්ලිමේන්තු භෝජනාගාරයේ අයිනකට වෙමින් සිගරට්ටුවක් උරමින් සිටිනා විට හදිසියේම සභා ගැබ දෙසින් මහා ශබ්දයක් ඇසෙන්නට විය. නිතර අසා ඇති මේ කරච්චලය ගනන් නොගත් මම තවත් දුම් උගුරක් අදින්නට පටන් ගත්තා පමණි කොහේදෝ සිට පැමිණි පොලිස් නිලධාරියෙකු කෑ ගසමින් මා අසළින් දිව ගියේය.

” බෝම්බයක් යකෝ එළියට දුවපන්”

මම වහා එළියට පැන දුවන්නට පටන් ගතිමි. නමුත් මීටර සීයක්වත් දුවාගන්නට හැකිවූයේ නැත.දෙපා අඩපණ වී මහා මහන්සියක් දැනෙන්නට විය. තව එකදු අඩියක්වත් ඉදිරියට යාගනු නොහැකිව මම තණ බිස්සක් මත වාඩි උනෙමි. මේ අතර සභා ගැබේ දෙසින් මැති ඇමතිවරුද ඔවුන්ගේ ආරක්ෂකයන්ද එළියට දිවඑමින් සිටියේය.

” බෝම්බයක් බෝම්බයක්”

ඔවුන් බියෙන් තැතිගනිමින් කෑ ගසන්නට විය. ඔවුනතර ඇමතිතුමා කොහේදැයි සොයන්නට උත්සහ කරන විට මට යම්දෙයක් පැහැදිලි විය. මේ සියල්ලක්ම එළියට දිව ආවේ නිරුවතනි. මම ඒ ඇසිල්ලේම මා දෙස බැලුවෙමි. පුදුමයකි! මා සිටියේද නිරුවතනි. නමුත් තව මොහොතකින් සිදුවූයේ මහා පුදුම දෙයකි. බෝම්බ බියෙන් ඇළලී තිබූ දියමන්නා පාර්ලිමේන්තු භූමිය ඇසිල්ලකින් උත්සව සිරියෙන් දෙදරන්නට විය. පකෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් වීදුරු එකිනෙක හප්පමින් සව්දිය පුරන්නට විය. කෙනෙකු අත විස්කි වීදුරුවක්‍ ය. තවකෙකු අත වයින් වීදුරුය. සමහරුන් අත විස්කි බෝතල් ය. ඔවුන් සියල්ලක්ම සව්දිය පුරමින් ගී ගයමින් නර්තනයේ යෙදෙන්නට විය . මේ පිරිස මැද්දෑවෙන් එක්වරම මතු වූ ඇමතිතුමා මා දෙසට දිව එන්නට විය.

” වරෙන් වරෙන් අපිත් එක්ක නටන්න”

යැයි පවසා විස්කි බෝතලයක් මා දෙසට විසිකොට යලිත් පිරිස සමඟ එක්විය. මමද බෝතලය උගුරට දෙකට හළා ගනිමින් පිරිස මැදට පැන නටන්නට වූයෙමි. එක්වරම පිරිස අතර කළබලයක් ඇති විය. විපක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු තරුණ මන්ත්‍රීවරියක කර තබාගන ගඟ දෙසට දුවන්නට විය . මෙය දුටු අන් සියල්ලෝම කෑ ගසමින් ප්‍රීතිගෝෂා කරමින් ඔවුන් දෙදෙනා පසුපස දිවයන්නට විය. සියල්ලකම දිවගොස් දියමන්නා ගඟට පැන කෑ ගසන්නට විය. මමද ඔවුන් පසුපස ගොස් ගඟට පැන්නෙමි.

ගඟට පැන්නා පමණි කවුදෝ ගැහැනියකගේ විලාප හඬකින් මම තිගැස්සී ඇහැරුණෙමි. මොහොතකට පෙර දුටු විකාර සිහිනයටද වාටුටුවත් සමඟ ඇති කොරිඩෝවේ ට්‍රොලියක දමා සිටි ගැහැනියටද ශාප කරමින් අතපුරා වෙළා තිබූ වෙළුම් පටි දෙස මා බලා සිටියේ කේන්තියෙනි. මීට දවස් කිහිපයකට පෙර නිදිපෙති ලබාදීම නැවතූ ඩොක්ටර් වසන්ත ට මම හිත යටින් බැණ වැදුනෙමි. මෙයට සති තුනකට පමණ පෙර පෝස්ටර් වගයක් රැගෙන යමින් සිටි අපේ ජීප් රථය පයාගල රේල් ගේට්ටුව හරියේදි සුමිත් අයියාට අකීකරු විය. අප දෙද්නා සිටියේද මද පමණට රත්වීගනය. වංගුවෙන් පිටතට විසිවූ ජීප් රිය අසළ තිබූ ගසක වැදෙනවා මට යාම්තමින් මතකය. සිහිය එන විට මා සිටියේ නෝගොඩ රෝහලේ ඇඳක් මතය. දකුණු අත තුන් පොළකින් බිඳී තිබුනි. සුමිත් අයියාට එතරම් තුවාලයක් වී නොතිබූ අතර මා ජීප් රියෙන් එළියට විසිවී අසළ තිබූ පෙට්ටි කඩය මතට ඇදවැටී තිබුනි.

පිරිමින් දෙදෙනෙකු එක්ව අර ගැහැනියව ට්‍රොලියට තබා බැඳ දැන්මේය. ඇය යක්ෂයෙකු ආරූඩ වූවා සේ දඟලන්නට විය. ගැහැනිය විලාප තැබූවේ පනින්ටුවක දියකර තිබූ සුදු පාට ද්‍රාවණයක් ඇයගේ මුව තුලට දමන විටය. මේ ද්‍රාවණය පිළිගැනීමට ගැහැනියගේ ශරීරය කිසිවිටකත් සුදානම් වූයේ නැත. බුලත් විටක් හපමින් සිටි පිරිමියෙකු ඒ දියරය ඇයට පොවනා සෑමවිටකම ඇය එය ඉවතට විසිකර දැමුවාය. විනාඩි කිහිපයකින් දියරය පෙවීමේ උත්සහය අත්හැර දැමින. ඉන් පසු ආරම්භ වූයේ බලා සිටීමට අපහසු දර්ශනයකි. තරුණ වෛද්‍යවරයෙකු විසින් කුඩා බටයක් ගෙන ඇයගේ නාසය තුලින් ඇතුලට තල්ලු කරන ලදී. ඉන් පසු එයට යම් බෙහෙතක් දමා ගැහැනියගේ ශරීරය තුලට ඇතුල් කෙරින. මෙවර එය තරමක් සාර්ථක බවක් පෙනෙන්නට විය. බටය තුලින් රුධිරය එළියට ගලාගන ආවද ටික වේලාවකින් ගැහැනිය නිශ්චල විය. තරුණ හෙදියක විසින් යම් බෙහෙතක් එන්නත් කල පසු ඔවුන් සියල්ලක්ම ට්‍රොලියද ගෙන ගැහැනු වාට්ටුව දෙසට ගමන් කරනු මම අඩ නින්දෙන් මෙන් බලා සිටියෙමි.

” මල්ලි අංජන නැඟිටපන්”

මම අඩ නින්දේම ඇස් ඇර බැලුවෙමි. ඒ සුමිත් අයියා ය. මම දුරකතනය ගෙන බැලුවෙමි. වෙලාව පහ පසු වී විනාඩි හතළිහකි.

” කොහමද දැන් උබේ අත. ඩොකටර් වසන්ත මංත්‍රීතුමාට කියලා තිබ්බා තව සතියකින් විතර උබට එන්න පුලුවන් කියලා. “

ඩොක්ටර් වසන්ත ඊයේ වාට්ටුවට ආවද මේ බවක් මට කීවේ නැත.

” මෙන්න උබ ආසම බිත්තර රොටී ෆාසිල් ගෙ නයිට් කඩෙන් ගෙනාවා. දවල්ට ඔෆිස් එකේ නයනා අක්කා උබට කෑම එකක් ගෙනත් දේවි “

යැයි පවසා මා දෙසට අමුතු හිනාවක් එක්ක කළේය. මොහතකට මට නයනා අක්කාගේ විශාල පපුවත් බුලත්සිංහල පැත්තේ පාලු ගෙයකුත් මතක් විය.

” උබ දන්නවනේ මංත්‍රීතුමාට හුස්මක් කටක් ගන්න වෙලාවක් නෑ. සමහරවිට ආයෙත් එයි උබව බලන්න . මෙන්න මේක තියාගනින් “

ගෝල්ඩ්ලීෆ් පැකට්ටු දෙකක් මා අත තැබූ සුමිත් අයියා හදිසියෙන්ම ආපසු යන්නට ගියේය.

බිත්තර රොටී හතර උණු උණු මස් හොදිත් සමඟම පෙරේතකමින් ගිල දැමූ මම සිගරට්ටුවක් උරන්නට කොරිඩෝව කෙළවරේ පිටිපස්සට වෙන්නට තිබූ බිත්තියට මුවා උනෙමි. ඩොක්ටර් වසන්ත සමඟ සිගරට්ටුවක් බොන්නට කිහිපවරක්ම සිතුනු නමුත් ඒ අදහස අත්හැර දැන්මේ අප අතර එතරම් මිත්‍රත්වයක් වර්ධනය වී නොතිබුනු නිසාය. මංත්‍රීතුමාත් ඩොකටර් වසන්තත් සමඟ දෙතුන් වරක් බෝතල් කිහිපයක් හිස්කර දැමූවත් අප අතර එතරම් කතා බහක් ඇති වූයේ නැත. මංත්‍රීතුමා සහ ඩොක්ටර් වසන්ත අතර පැය ගනන් වාද විවාද ඇදී ගිය නමුත් ඒවාට හවුල්වෙන්නට තරම් හිතක් පහළ වූයේ නැත…

දෙවන සිගරට්ටුවද දල්වා ගත් මම ඊයේ රෑ වාට්ටුවට ගෙන ආ ගැහැනිය ගැන කල්පනා කළෙමි. ඇයට කුමක් වන්නට ඇතිද ? බාගෙට ඉරූ සිගරට් කොටය කානුවට විසිකෙරූ මම කොරොඩෝව දිගේ ගැහැනු වාට්ටුව දෙසට ඇවිද ගියෙමි. වාට්ටුවේ කොනක තිබූ ඇඳක අර ගැහැනිය නිසොල්මනේ වැතිර සිටියාය. කොරොඩෝවේ කණුවකට හේත්තු වූ මම ගැහැනිය දෙස බලා සිටියෙමි. ගැහැනියගේ මළානික දෑස් කිසිදු එල්ලයක් නොමැතිව සිවිලිම දෙස බලා සිටියාය . ශරීරයද කිසිදු චලනයක් නොදක්වා ඔහේ වැතිර සිටියාය. ඇයව පෙනුනේ බොහෝ කුණාටුවලට මුහුණ දී ඉරී ගිය තවත් පුංචි සුළඟකටවත් මුහුණ දීගන්නට තරම් ශක්තියක් නැති ඉරුණු රුවලක් මෙනි. එක්වරම පිටුපසින් ඇසුනේ ගැහැනු කටහඬකි.

” ඔය ගෑණි ඊයේ මේක දෙවනත් කෙරානේ මහත්තයෝ. වහ බීලා. බොහොම අමාරුවෙන් බේරගන තියෙන්නේ”

මම එය දන්නවා සේ හඟවන්නට මෙන් ඔලුව වැනුවෙමි.

” දුවටත් පොවලා අම්මත් බීලා. කෙල්ල නම් ගේනකොටම මැරිලලු”

කිසිවක් නොකී මම මේ කටසැර ගැහැනියගෙන් මිදෙනු පිනිස මගේ වාට්ටුව දෙසට ඇවිද ආවෙමි. එන අතරතුර ඒ දෙස බැලු විට ගැහැනිය මා දෙස නුරුස්නා බැල්මකින් බලා සිටිනු පෙනෙන්නට විය. බොහෝ දුරට ඇයට කිසිවක් නොකියා ආ නිසා විය යුතුය. ඇඳට වැටුනු මම කියවන්නට ගෙනා පොත ඔඩොක්කුව මත තබා කියවන්නට උත්සහකළ නමුදු මට අර ගැහැනියත් ඇයගේ දියණියත් ඔලුවේ එහා මෙහා ගමන් කරන්නට විය. ඇයි ඒ ගැහැනිය දියණිය මරා දමා ඇයගේ සියදිවි නසාගන්නට උත්සහා කලේ!!!

එදින රාත්‍රියේද පෙනුනේ මහ විකාර හීනයක් ය. මෙවරද පාර්ලිමේන්තුව බෝම්බ බියකින් ඇළලී තිබුන අතර බෝම්බය ගෙන ඇවිත් තිබුනේ අර ගැහැනියය. ඇය තමන්ගේ ළමයාත් බෝම්බයත් බඩ මැදට තබා බැඳගන සිටියාය. එක්වරම ළමයාත් බෝම්බයත් අතුරුදහන් වී ගැහැනිය නිරුවත් විය. මැති ඇමතිවරුන් සහ ආරක්ෂකයන් ආයුධ සන්නද්ධ ව ඇය පසුපස හඹාගන ගියෝය. මේ විකාර සිහිනයට පසු මට කෙසේවත් නිදාගන්නට බැරිවිය . මම රහසින්ම කොරොඩෝව කෙළවරේ බිත්තිය ට මුවාවී සිගරට්ටුවක් උරන්නට පටන් ගත්තෙමි. ගැහැනියත් දරුවාත් ඔලුවෙන් අයින් කරගනට කොතෙකුත් උත්සහ කලත් සාර්ථක වූයේ නැත. කෙසේ හෝ මේ ගැන තොරතුරක් ඩොක්ටර් වසන්ත හරහා දැනගන්නට මම සිතා ගත්තෙමි.

ඉන් හරියටම දවස් හයකට පසු නවයේ වාට්ටුවේ දහතුන්වෙනි ඇඳට සමුදී මම නාගොඩ හංදියට ආවෙමි. ටිකට් කපන්නට පෙර දින රාත්‍රියේ මංත්‍රීතුමා මට කතා කලේය.

” අංජන උබ එහෙනන් ගෙදර ගිහින් දවසකින් දෙකකින් වරෙන්. ඔෆිස් එකේ සල්ලි වගයක් ඇති ඒකත් අරන් පලයන්. මේ පාර අපි උඩින්ම දිනනවා බන් “

කාර්‍යාලයට ගොස් නයනා අක්ක අත තිබූ රුපියල් තිස් දහසද ගෙන බ්ලැක් ලේබල් බෝතලයක්ද ගෙන හීනටියන්ගල පාර දිගේ පයින්ම ගෙදරට ආවෙමි. ගෙදරට ආ පසු මුලින්ම කලේ දුරකතනය ක්‍රියා විරහිතකර දමා හොඳ හැටි නාගන බ්ලැක් ලේබල් වීදුරු තුනකටද වගකියා හොඳ නින්දක් නිදා ගැනීමය. දවස් තුනකට පමණ පසු කලුතරින් පළාතොට පාරේ බසයකට නැඟුනු මම ඩොක්ටර් වසන්ත සොයා දුන් මංසලකුනු ඔස්සේ අර ගැහැනියගේ නිවස සොයා යෑමට පිටත් උනෙමි. පැයකට පමණ පසු බසය ගමනාන්තයට ලඟා වූ පසු එතැන් සිට නිවස සොයාගන්නට පැය එක හමාරක් පමණ වෙහෙස වූ නමුත් පලක් වූයේ නැත. තුංමං හංදියකට වෙන්නට තිබූ කුඩා කඩයකට ගොඩ වැදුනු මම සිගරට්ටුවක් දල්වා ගත්තෙමි. කඩයේ සිටි මිනිසාගෙන් ගැහැනිය ගැන විස්තර ඇසුවද ඔහු මුලින් මා වෙත හෙලුවේ නුරුස්නා බැල්මකි. නමුත් තවත් සිගරට්ටුවක් දල්වාගත් පසුව ඔහු ගෙදරට යන මාර්ගය විස්තර කර දුන්නේය .

” මහත්තයෝ ඔය ඉස්සරහ තියෙන පස් පාරෙන් කෙළින්ම ගියාම මහ විශාල කොස් ගහක් හම්බවෙයි. එතනින් දකුණට තියෙන අඩිපාර දිගේම ගිහින් හම්බවෙන උණ පඳුර ලඟින් වමට හැරිලා ගියාම ඔය කියන ගෙදර හම්බවෙයි. ඒ පාර ඉවරවෙන තැන තමයි ඔය ගෙදර තියෙන්නේ”

අවසන ඔහුගේ විස්තර කිරීම අවසානයේ තවත් වාක්‍යක් එකතු කළේය.

” පව් අර අසරණ කෙල්ල “

කඩය ඉදිරියෙන් වැටි තිබූ පස් පාරේ ගොස් කඩයේ මිනිසා කී කොස් ගස සොයා ගත්තෙමි. ඔහු කියු පරිදිම එය දැවන්ත කොස් ගසකි. පරම්පරා ගනනාවක ඉතිහාසය ඒ ගස දන්නවා විය යුතුය. එතනින් ගොස් උණ පඳුර ළඟින්ද හැරී අවසන ඒ නිවස සොයා ගත්තෙමි. කොස් ගස ලඟ සිට කිසිදු නිවසක් සොයාගත නොහැකි වුවත් ඒ අඩි පාර පාලු බවක් ඉසිලුවේ නැත. කිලෝ මීටර එක හමාරක් පමණ අඩි පාරෙ ඇවිද ආ මහන්සියට මම ගෙදර මිදුලේ තණ බිස්සේ වාඩි උනෙමි. මිදුලේ අයිනකට වෙන්නට තිබුනේ අඹ ගසකි . අඹ ගස යට වාඩිවෙන්නට බංකුවක් ගසා තිබින. බංකුව පාමුල බියර් බෝතල් සහ ගල් බෝතල් කිහිපයක් දමා තිබින. පාර පාලු නොවීමට හේතුව පැහැදිලිය. බැලු බැල්මට ඒ නිවස එක් කාලයක යම් සමෘද්ධිමත් බවක් තිබු බව පෙනෙන්නට විය. වහළයේ තිබූ පරණ සිංහල උලුත් විශාල දොරත් ජනෙල්වලට දමා තිබූ උලුවහු කිහිපයත් ඒ ඉතිහාසයේ සාක්ෂිකරුවන් ය. ඉදිරිපස දොරටුව කවුරුන් හෝ කඩා දමා තිබුන. ඒ සුන්බුන් මතින් මම ගේ ඇතුලට ගියෙමි. ඇතුලුවනවිටම තිබූ සාලයේ තිබුනේ සාලයට තනි රැකි වාරු නැති මේසටකුත් පුටු තුනකුත් ය. ඒ මේසයට් උඩ බිත්තියේ ගසා තිබුනේ රාමූ කෙරූ ඡායාරූපයකි. මම ඡායාරූපය දෙස ඉතාමත් වුවම්නාවෙන් බැලුවෙමි. එහි මැද සිටියේ අවුරුදු තිහක තිස් පහක පමණ තේජවන්ත ගැහැනියක සහ අවුරුදු හතළිහක පමන හැඩි දැඩි පිරිමියෙකි. කාන්තාව දෑත මත අවුරුද්දක් පමන වයස දරුවෙකු විය. දරුරුවන් දහතුන්දෙනෙකු එතන විය. පියා ලඟ සිටි දැලි රැවුල වැවී තිබුනු කොල්ලාට වයස දා හතක් පමන වන්නට ඇත. මේ පිරිසෙන් කවුරුන් හෝ දරුවෙකු අර ගැහැනියගේ මව හෝ පියා වන්නට ඇත. මෙතරම් දැවන්ත පවුලක අර ගැහැනිය පමනක් කාත් කවුරුවත් නැතිව ඉස්පිරිතාලයක ඇඳක් මත වැතිර සිටියි . වැහි වතුර වැටි තැන තැන වලවල් සෑදි තිබුන සිමෙන්ති පොලොව මැදින් ගොස් සාලයේ කෙළවරක සිට තිබුන කාමර පේළියට ඇස් යොමු කෙලෙමි. සාලයත් මුහුනලා තරමක විශාල කාමරයක් තිබුන අතර ඉතිරි කාමර දෙකට යන්නට තිබුනේ පුංචි කොරොඩෝවකනි. අයිනේම තිබු කාමරය කුස්සියට පාවිච්චි කෙරූ එක විය හැකිය. ජනේලය අයිනට වෙන්නට ලිප තිබුන අතර එය කාලයකින් ගින්දර නොදැකූ එකක් විය. ඊලඟ කාමරයේ තිබුනේ දිරාගිය කැබිනට්ටුවකි. මව සහ දියණිය ජීවත් වූ තරමක විශාල කාමරය සාලයට මුහුනලා තිබින. අයිනකට වන්නට ඇඳක් තබා තිබුනු අතර ඇඳ ලඟම තිබුනේ රෝද පුටුවකි. ඇඳට ඉහළින් පරණ කැලැන්ඩරයක හින්දි නලුවෙකු විය. ඒ කවුරුන්දැයි මට නිච්චියක් නැත. ඇඳ මත තිබුන පරණ රෙදිවලින් තාමත් තෙල් බෙහෙත් ගඳක් ක් වහනය විය. මුලු ගෙදරටම සිටි එක්ද්ම ජීවියා වන ටෙඩි බෙයා ඇඳ මත සිටියේය. ඌගෙන්ද තෙල් බෙහෙත් ගඳ දැනෙන්නට විය. ඌගේ පැත්තකින් ඉරී තිබින. මම ඌව අතට ගත්තෙමි. සිදුවූ සියක්ලේම ඇසින් දුටු සාක්ෂිකාරයා ගොලුවතින් මා දෙස බලා සිටියි. ටෙඩි බෙයා මා දෙස බලා සිටිනා විට මම ඌගේ ඉරුණු තැනින් එලියට පැන ඇති කොළ කැබැල්ලක් දුටුවෙමි. එය එළියට ගතිමි. එය කවුරුන් හෝ ලියූ ලියුම් කැබැල්ලකි. මා ගැහෙන හදවතින් එය දිග හැරියෙමි.

” මනුස්ස ආත්මයක් ලැබෙන්නේ පෙර කරපු මහා පිනකට කියලා පන්සලේ ලොකු හාමුදුරුවෝ කිව්වට අපිට මේ ජීවීතේ හමබවෙලා තියෙන්නේ මහා කරුමෙකට මගේ දුවේ. අනේ මගේ දුවේ උබේ අසරණ අම්මට සමා වෙයන්. උබෙයි මගේ පන කෙන්ද රැකගන්න මගේ මේ ශරීර කූඩුව උන්ට වළඳන්න දුන්නට ඒ පාපතරයෝ උබේ ඇඟටත් අත තිබ්බේ අපේ කරුමෙකට දුවේ. ඒක වළක්වන්න හදනකොට මං හොදටම පරක්කුයි. උබ ගෙට වෙච්ච දා ඉඳලා උබේ හැම ලේ බිංදුවක්ම අයින් කරපු මට මාස දෙකක් තිස්සේ ඒක නැවතිලා තියනකොට මට දැනුනේ අපේ ජීවීත ඉවරටම ඉවරයි කියලා . උබෙයි මගෙයි මේ කාලකන්නි ලෝකෙට තවත් හුස්මක් එකතු කරනවට වඩා අපි ඔක්කොම මැරිලා යන එක හොඳයි පුතේ. අනේ මේ අසරණ ගෑනිට ලක්ස වාරයක් සමාවෙයන් මගේ රත්තරන් දුවේ”

මුලු කාමරයම මා වටා කැරකෙන්නට විට. ලියුම විසිකර දමා මා කාමරයෙන් එළියට දිව ගියෙමි. මගේ මුලු සරුවාංගයම ගැහෙන්නට විය. මා තණකොළ බිස්සේ හාන්සි වී සිගරට්ටුවක් වේගයෙන් උරන්නට පටන් ගත්තෙමි. බොඳවුන දෑසින් සිදුවූ සියල්ල එකිනෙක ගලපන්නට උත්සහ කරනා විට දුරකතනය කෑ ගසන්නට විය.

” කොහෙද යකෝ ඉන්නේ කෝල් කීයක් ගත්තද, අපි උඩින්ම දිනුම් . මම දිස්ත්‍රික්කේ වැඩිම ඡන්ද. ඉක්මනට වරෙන් අද හවස පාටිය”

අනූ බන්ඩාර .

ඕලූ

පන්සල පැත්තේ ඉඳන් මහා කන්දක් බැහැගන එන පස් පාර සොහොන ලඟදී එක් විටම ඇලත් එක්ක සමාන්තරව තව කොලෝමීටරයක් විතර කිසිදු බැස්මක් නැග්මක් නොමැතිව ගිහින් කඩමණ්ඩිය අයිනෙන් අවසාන වෙනවා. ඊට පෙර දවසේ කැලෑ පැනලා ඇතිවෙච්ච තුවාල තැවරිච්ච මඩත් එක්ක නින්දට යන අපේ ශරීර කූඩු පහුවෙනිදා උදෑසනම පිරිසිදු කරන්නේ මේ පස් පාරක් එක්ක දුවන පුංචි ඇල. ඒ උදෑසනවල්වල සීතල වතුර පුංචි කකුල් සිපගන්නකොට ඇතිවෙච්ච දැවිල්ල තාමත් දැනෙනවා වගේ. මුහුණ කට දෝවනයෙන් පසුව පොත් කිහිපයක් දාලා තිබ්බ සිලි බෑගය වට හයක් හතක් කැරකවිලා පිට මැද්දෑවට වැටෙනවා. ඒ සිලි බෑගය ඇතුලේ තියන පොත් මහා අනෝරා වර්ෂාවකටවත් තෙමන්න බෑ. ආපහු ඉස්කෝලේ ඇරිලා එන ගමනෙදිත් මේ කිලෝ මීටරයක් දිගැති පස් පාරේ අපි යන්නේ ඉබ්බොන්ටත් වඩා හිමිහිට. අහෝ ජීවීතය අපිට තිබ්බේ ඒ මොහොතවල්වල සදහටම නවතින්න.

………………. …….

ජීවීතයේ මතක ගබඩාවේ මේ කිලෝ මීටරය විසින් ගබඩා කරලා තියෙන්නේ කිලෝ මීටර මිලියනයක විතර දිග මතක. සමහර මතකයන් අලෝක වර්ෂ මිලියනයක් මේ ග්‍රහලෝකයෙන් එහාට ගියත් අමතක කරන්න බෑ. ඒ වගේ අදටත් දරාවත නොහැකි වේදනාබර මතකය තමයි ඕලූ.

………………………

ඕලුගේ ගෙදර තිබ්බේ මේ පස් පාරේ අංශක අනූවට හැරිච්ච වංගුවට පහළින්. ඕලූ හිටියේ අපේ පන්තියේ. පහ වසර ඉවරවෙලා හය වසරට යනකොට ඕලුත් යන්න ගියා ගමේ ඉස්කෝලේන්. එහෙම ගියපු ඕලුව දකින්න ඊට අවුරුදු ගානකට පස්සේ මං පෙරමඟට වෙලා බලාගන හිටියා. තාමත් කොණ්ඩ කරල් දෙකක් බැඳගන පොත් මිටියත් අතේ තිගාගන ඕලූ ආපු හැටි අතිශය පැහැදිලි චිත්‍රයක් වගේ මැවිලා පේනවා. දවස් කිහිපයක වචන කිහිපයකට පස්සේ ඕලුව මඟ හැරිලා ගියේ අර ඇලට දාපු කොළයක් වගේ.

………………….

ඊටත් කාලයකට පස්සේ තමයි ඒ නරුම නපුරු ආරංචිය ගම හැමතැනකම පියාඹගන ගියේ.

” ඕලූගේ තාතතා ඒ මල් කැකුළ තලලා පොඩි කරලා”

ඇත්තටම ඒ ආරංචිය ගියේ විස කවපු භයංකාර වචනත් එක්ක. පොල් ගෙඩි හිසක් තිබ්බ ඒ යක්ෂය බඹරා පුංචි ඕලූ මල තලලා පොඩිකරලා රොන් බීලා. එතනින් එහාට සිද්ද වෙච්ච දේවල් මහ වැස්ස දවසක ඇලට වැටිච්ච කොළයක් වේගෙන් පහලට යනවා වගේ සිද්ද උනා. පොලිසිය ගෙදරට ආවා. යක්ෂයට මාංචු වැටුනා. ඕලුගේ ගෙදරට ගමේ මිනිස්සු අතින් ගල් විසි උනා. අපිට ඕලූව මඟ හැරුනා.

……………………

ඒ පස් පාරට යට ඕලූගෙ මතකය තාමත් හිත ඇතුලේ හොල්මන් කරනවා.ඒ වැරදිකාර සිතුවිල්ල හිත කීරී ගස්සනවා. ඒ පුංචි කලු කෙල්ල, දිලිසෙන ඇස් දෙකක් තිබ්බ ඕලු මල අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ සියුමැලි පෙති පොඩිවෙනකොට කොහම දරාගන ඉන්න ඇත්ද… කිසිවෙකුත් කිසිවක් දැන නොසිටියේ ඇයිද…. අපේ යෙහෙළිය ඒ අඳුරු ගුහාවෙන් එළියට නොගෙන් අපි කරමින් සිටියේ කුමක්ද …. ඉතිං මිතුරිය මගේ යෙහෙළිය මේ පශ්චාත්තාපීය අකුරු නුඹ දකීදැයි නොදනිමි. ඊට කෙසේ ප්‍රතිචාර දක්වාවිදැයි නොදනිමි . මිතුරිය දහස්වර සමාවන්න එකදු වචනයක්වත් නොදොඩා බලා සිටියාට……

අනූ

ගින්දර

තාත්තා ගෙට ගොඩ උනේ අම්මට කුණුහරුපෙකුත් කියාගන. අතේ තිබ්බ මල්ල කුස්සිය පැත්තට විසිකෙරුපු තාත්තා ඉස්තෝප්පු කෑල්ලේ බූරූ ඇඳ උඩට වාඩි වෙලා බීඩියක් උරන්න පටන් ගත්තා. බීඩියේ දුම් වහලේ ඉළුක් අතරෙන් බොඳවෙලා යනකොට මං දැක්කා තාත්තගේ ඇස් රතු පාටින් ගිනියම් වෙලා තියනවා. තොල් දෙක ලඟට යනකන් අලුවෙච්ච බීඩි කොටය මිදුලට විසිකරපු තාත්තා ඉනෙන් ඇදලා ගත්ත කාලේ බෝතලය උගුරට දෙකට හිස් කෙරා .

…………………….

දවස් දෙක තුනක වෙලේ ඉඳන් ලිපේ ගින්දර මෙළවෙන්නේ නැතිකොට අම්මගේ කේන්තිය හට්ටි මුට්ටි එක දෙක බිමට වැටීමෙන් එළිවෙන්න පටන් ගත්තා. පරම්පරා ගානකට තමන්ගේ දූ දරුවෝ දන් දීපු නාටු කොස් ගහේ බැඳලා හිටපු එළදෙන දිහා උදේ ඉඳන් බලාගන හිටපු තාත්තා දවල් වෙනකොට ඌවත් අරන් කොහේදෝ යන්න ගියා. ඒ ගියපු ගමන තමයි තාත්තා ආපහු මල්ලකුත් කරේ තියාගන ආවේ.

………………….

මලලේ තිබුනු ඒවා එකින් එක එළියට එනකොට ඉස්තෝප්පු පැත්තෙන් තාත්තගේ වචන දෝංකාර දෙන්න පටන් ගත්තා.

” ඔය තියන එකක් ඉක්මනට උයලා ගනින් ගෑනියේ”

තාත්තා ගේ වචන වලට වළං ශබ්ද වලින් උත්තර දුන්න අම්මා තවත් බීඩි කොට හතර පහක් මිදුලට වැටෙන සුනංගුවට බත් පිඟානක් බෙදලා තාතතගේ අත් දෙක දිහාට තල්ලු කලා. බත් කටවල් දෙක තුනකට පස්සේ තාත්තා ආයේමත් කෑ ගහන්න පටන් ගත්තා.

” ගෑණියේ උබ මේ පරිප්පුව මුහුදේ ඔබලද ගත්තේ “

ඒ වචන අවසාන වෙනවත් එක්කම බත් පිඟාන මිදුල දිහාට පියාඹගන ගියා. කේන්තියෙන් ආරූඩ වෙලා හිටපු අම්මගේ අත් වලින් ලුණු පොල්කට්ට පරිප්පුව ට හැලෙන්න ඇති. පිඟාන මිදුලට පියාඹගන ගිය ඇසිල්ලේ කුස්සියට දුවගන ආපු තාත්තා ඇදලම ඉතුරු වෙලා තිබ්බ අම්මගේ කොන්ඩ කෑල්ලෙන් අල්ලගන බිත්තිය දිහාට තල්ලු කෙරා. තැනින් තැන ගොම පෑදිලා පොලොව මතුවෙලා තිබ්බ බිමට වැටිච්ච අම්මා මං කියවපු සුරංගනා කතාවල හිටපු ඔක්කොම මායාකාරියන්ගේ රක්ත වර්ණ ඇස් වල රතුපාට අම්මගේ ඇස් දෙකේ තවරගන ඒ සියලු මායාකාරියන්ගේ ශාපයන් එකතුකරගන තාත්තට ශාප කරන්න පටන් ගත්තා. එතනින් එහාට පටන් ගන්නේ රාත්‍රියේ භයංකරම යාමය .

…. …..

පහර පිට පහර කමින් ඒවාට ශාප කරමින් ඉනෙන් බුරුල් වෙච්ච චීත්තයත් ඇඳගන අම්මා ඊලඟට දුවන්නේ ගේ පිටිපස්සට . ඒ කවදාවත් අම්මා නොබීපු වස බෝතලය හොයාගන. මේ සියල්ලෙන්ම පරපීඩිතව වෙලා ඉන්න පොඩි එකෙක්ට සිද්ද වෙනවා අම්මා පිටිපස්සෙන් දුවගන ගිහින් අම්මට වැඩිය හයියෙන් හඬා වැටෙන්න. එහෙම නැත්තන් කලින් දවසක වස බෝතලය වත්ත පහළ කොහේ හරි හංගන්න.

…… …….

අම්මගේ පිටුපස්සේ ලුහු බඳින එක නවත්තපු තාත්තා ආයේමත් ඉස්තෝප්පුවට ගිහින් බීඩී දුම අතරේ අතරමංවෙන්න පටන් ගත්තා. තවත් බීඩි කොටයක් කලින් පියාඹගන ඇවිත් මිදුලට වැටිච්ච බත් ගොඩට වැටෙනකොට තාත්තා එක් ක්ෂණයකින් මිදුලට බැස්සා.

” ඉඳපියව් තොපිට මං හොඳ වැඩක් කරන්න”

එහෙම කියපු තාත්තා ගිනි කූරක් පත්තු කරලා වහලේ දිහාවට විසිකෙරා. මාස ගානක් එක දිගට වැටිච්ච අව්වට වේලිලා හිටපු ඉළුක් ටික එක් මොහොතකින් ගිනි ජාලාවක් බවට පෙරලුනා. ඒ ගින්දර එළි දැකපු අහළ පහළ මිනිස්සු වතුර කළගෙඩිත් උස්සගන අපේ ගේ දිහාට දුවගන එනකොට මං ගෙදර තිබිච්ච වටිනාම දේවල් ආරක්ෂාවට දාලා තිබ්බ සූට්කේස් පෙට්ටියයි පොත් ටිකයි අරගන මිදුලට පැනලා ඒ භයංකාර ගින්දර නිවිලා යනකන් බොඳ වෙච්ච ඇස්වලින් අපේ ගේ දිහා බලාගන හිටියා.

අනූ

ශ්‍රී ලාංකීය සිනමාවට මඟ හැරුණු නිධන් සොයා ගිය ඒ අපූරූ බැංකු නිලධාරියා නොහොත් ශ්‍රී ලාංකීය ගීත කලාවේ ෂර්ලෝක් හෝම්ස්

 

චිත්‍රපට පසුබිම් සංගීතයේ එකම එක ගීයක් ගැයූ ගායකයකු කතන්දර කීමේ කලාවේ යෝධයෙක් වෙච්ච සිනමාව පසුකරගන ගව් ගනනක් ඉදිරියට ගොසින් තමන්ගේ මුඳ්‍රාව ශ්‍රී ලාංකීය කලාවේ දැවන්ත විදිහට සනිටුහන් කලා. සිනමාවට මඟ හැරුනු සුවිශේෂී කතන්දර සමූහයක් මේ ගවේෂකයා රසිකයන්ට අනාවරණය කෙරේ ඔහුටම ආවේනික සංගීත ශානරයකින්. විටෙක ඔහුගේ ගීත කලාවේ ඇතුලේ මේ බැංකු නිලධාරියා ජනමාධ්‍ය වේදියෙක් උනා. තව වෙලාවක අපරාධ පරීක්ෂකයෙක් උනා. සිංහල ගීත කලාවේ ෂර්ලෝක් හෝම්ස් නම් ඒ අපූරූ චරිත ය. ඇන්ටන් ජෝන්ස් …..

ප්‍රේමවතී මනම්පේරී
සමන් කුමාර
සයුර බලා බඳ ලෙලවා ආසයි බයයි
බැලුවම අහිංසක යි මරු සිරා
විසි අට අහස් යන්තරේ
ගුවන් ගමන් ඉතිහාසේ සේපාල ඒකනායක
පොලොන්නරුවේ පොඩි විජේ
සුලි සුළං හමාලා
ඝණ්ටා නාදේ
අහෝ ජීසස් මැතිව් පීරිස්
හාර ලක්ෂයේ මංකොල්ලය

ඇන්ටන් ජෝන්ස් ගැයූ අතිශය ජනප්‍රිය ගායනාවලියේ කීහිපයක් තමයි මේ. 1937 ජනවාරී 3 කොළඹදී උපන් ඇන්ටන් ජෝන්ස් අධ්‍යාපනය ලැබුවේ අලුත්කඩේ ශාන්ත සෙබස්තියන් පාසලෙන්. කුඩා අවධියේ සිට ගායනයට ඇලුම් කල මේ සමාජීය ගායකයා සංගීත දිවිය ආරම්භ කලේ ලාංකීය සංගීතයට බයිලාව නැමැති විශිෂ්ටතාවයට උත්පත්තිය දුන් වොලී බැටියන් නම් දැවන්තයා ගුරු කොටගන. ආරම්භයේ සිටම සත්‍ය සිදුවීම් මුල් කොට වොලී බැස්ටියන් ගායනාවේ යෙදුනු සංගීත කලාව අපේ මේ බැංකු නිලධාරියා උච්චස්ථානයටම රැගෙන ගියා.

” වොලී බැස්ටියන්ගේ තමයි මං මේ කලාව ඉගනගත්තේ . නමුත් මං විශ්වාස කරනවා ඒක උච්චස්ථානයකට අරන් ගියේ මං කියලා”

වරක් ඇන්ටන් ජෝන්ස් එසේ ප්‍රකාශ කර තිබුනා. ලොවේ කොතැනකවත් සංගීතය ඇතුලේ මෙවැනි කතන්දර කීමේ ගීත කලාවක් ඇතැයි සිතීම අපහසුය. තිබුනත් එක පුද්ගලයෙකු විසින් ඒ කලාව මෙතරම් දුර ඔසවාගන එතැයි සිතීම අතිශයින්ම අපහසුය. එනයින් මෙවැනි ගීත කලාවක ප්‍රථමයා , ප්‍රමුඛයා ඇන්ටන් ජෝන්ස් විය හැක.

ඇන්ටන් ජෝන්ස්ගේ ගායනාවලියේ ඇති සුවිශේෂී ම ලක්ෂණයනම් කතන්දරය ක් මුල මැද අග එකට ගලපා හොඳට අමුනා රසිකයාට ඉදිරිපත් කිරීමයි. ඇන්ටන් ජෝන්ස් ගේ ගීතයක් ඇසීමම යනු අපව චිත්ත රූපවලින් පුරවනා මිනිත්තු කිහිපයකි. සමහරවිටක ටෙලි නාටයක චිත්‍රපටයක අත්දැකීමක් ඇන්ටන් ජෝන්ස්ගේ ගීතයේ මිනිත්තු කිහිපයකින් අපට විඳිය හැක.

බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකා දීපය
දහම් සඟුන් සෙවනේ දරුවෝ හැදුන දේශය
මොකක්ද සිරිලංකාවට උන විනාශය
තුට්ටු දෙකට මිනි මරනවා නෑනේ කිසි බිය

පාසල් යන්නට පෙර වැඳ රැගෙන අවසර
සිරිත් පරිදි පාසල වෙත නැගුවා පියවර
ඒ වනවිට රුදුරු මරුවා සිටියේ ඉව කර
මේ මොකවත් නැහැනේ දන්නේ දන්නේ සමන් කුමාර

ඇන්ටන් ජෝන්ස්ගේ ගායනාවලිය අධ්‍යන කිරීම යනු වෙනම අභ්‍යාසයකි. එහි ඇත්තේ දැවන්ත ඉතිහාසයකි. ප්‍රේමවතී මනම්පේරි , සමන් කුමාර , කන්දේ හැපුනා වැනි ඇන්ටන් ජෝන්ස්ගේ සියලු ගීතාවලිය අධ්‍යන කල බැලුවහොත් එහි ඇති ඉතිහාසය මොනවට පසක් වනු ඇත. මේ සියලු සිද්දීන් ඇන්ටන් ජෝන්ස් ගීතයෙන් කතන්දරගතකොට ඇත. සමහර සිද්දීන් තාමත් අපේ මතකයේ තිබෙන්නේ ඇන්ටන් ජෝන්ස් ගේ ගායනාවලිය නිසාවෙනි.

ඇන්ටන් ජෝන්ස් මේ සියලු සිද්දීන් ඉදිරිපත් කරේ අතිශය හික්මවීමක් සහිතය. ඔහුගේ ගායනාවලිය තුල අසාධාරණය ලක්වූවන්ගේ අයිතිය වෙනුවෙන් ඔහු පෙනී සිටියේය. ඔහුගේ විශිෂ්ටතම ගීතයක් වන ප්‍රේමවතී මනම්පේරී ගීතය තුල ප්‍රේමවතී තරුණිය වෙතට ඔහු හෙලනා සානුකම්පිතත්වය අතිශය සංවේදිය. පොඩි විජේ වැනි ගීතයක ඇන්ටන් ජෝන්ස් අනාවරණය කරන පොඩි විජේ කෙනෙකු බිහිවීමේ කතන්දරය කොයි තරම් දේශපාලනිකද..මේ ගායනාවලිය තුල මතු කරන ඉතිහාසීය සහ දේශපාලනික ප්‍රස්තුතයන්ගේ වටිනාකම ඇන්ටන් ජෝන්ස්ගේ බොහෝ ගීතවල පද රචකයා වූ ජේ ඩී සුමනපාල හටත් නිතැතින්ම හිමිවිය යුතුය.

ඇන්ටන් ජෝන්ස් සමඟ මේ ලියුම්කරු වන මා හටද ඇත්තේ අපූරු ඉතිහාසයකි. අපට වෙර බැඳි ගුරුතුමිය මාත් මගේ මිතුරාත් පන්තියෙන් එලියට දැමූ හැම දවසකම ඩෙස්කයත් කවකටු පෙට්ටියත් පෑනත් සමඟ
එලියට වී ඇන්ටන් ජෝන්ස් ගේ ගීතය සමඟ ගනුදෙටුකොට ඇත්තෙමි. ඔහුගේ හඬත් ඔහූගේ ගායනාවලියත් ශ්‍රී ලාංකීය ගීත කලාවේ වෙනම සලකුණකි. සිනමාවට සොයා ගත නොහැකි වී බොහෝ නිධානයන් ඔහුගේ ගීතය තුලින් ඔහු සොයා ගත්තේය. ඔහූගේ විශිෂ්ටතම ගීතයකින් මේ සටහන අවසන් කර දමන්නෙමි….

ප්‍රේමවතී මන්ම්පේරි තරුණිය
කතරගමේ විසූ රූප රැජිනිය
පතිවත කෙලසලා ඇගේ
මැරුවා තිරිසෙනෙක් වගේ
ඒ සිත් පිත් නොමැති උදවිය

එක්දාස් නමසීය හැත්තෑ එකේ වරුෂයේ
සිදුවුනු සිද්දියක් මේ අපේ ලංකාද්වීපයේ
රුහුණේ කදිර සුරිඳුන් වැඩ විසූ භූමියේ
උන අපරාධය පවසමි ශුද්ධ භූමියේ
කතරගමේ රූප රැජිනිය මනම්පේරි නමගත්
ඇගේ හැඩරුවට වශී උනා කාගෙත් නෙත් සිත්
ණැනවත් තරුණියක් ඇය පවුලක දුප්පත්
ඇයට සිදුවුනු දේ අමතක වෙනවද කවදත්

මනම්පේරි මේ සුන්දර රූප රාජිනි
ඇයව සොයා හදිසියේ ජිප් එකක් පැමිනුනි
කිසිවක් කරකියාගන්ට ඇයට බැරින්වුනි
ඒ නිළධාරින් ඈ කැඳවන් යන්න සැරසුනි
මේ ලෙස මා ගෙනයන්නට කල වරද කුමක්ද
ඒයි මන්ම්පේරි කතා නැතුව එනවාද නැද්ද
අකමැත්තෙන් වුව ඇයට යන්න සිද්ද
ඔය පාලු කුටියකට ඇය කැඳවන් ගියේ මන්දෝ

එම පාලු කුටිය තුල තරුණිය හිර කරලා
කැඳවන් ගිය සැම දෙනා එතැන රොක් වෙලා
විලි වසා සිටි වස්තරේ ගලවන්න අන කලා
විලි ලැජ්ජයි දැන් ඇය වැළපුනි කඳුලු සල සලා
ඇයව වැදු මවයි කුඩා සොයුරියයි සිහිවිය
සුකුමල මුව කමල කඳුලින් තෙත් විය
මට යන්න දෙන්න හෙලි නොකරමි කල විපැත්තිය
ඇගේ ඉල්ලීමට කන් දුන්නද මෘග කට්ටිය

දණ ගස්වා නිර්වස්ත්‍රව ඇඳන් යන විට
වෙඩි උන්ඩයක් ඇවිත් වැදුනා ඇගේ වමේ කලවෙට
පිට පිට වෙඩි උණ්ඩ නිකුත් උනා හනිකට
හැම උණ්ඩයක්ම සිරුර පුරා ගියා විනිවිද
ඈ ඇදන් වැටුනා ලේ ගලමින් ඇගේ මුලු සිරුරෙන්
කලින් කපා තිබුනු වලක් තුලට හිටි ගමන්
වල වසා දමන්නට එතැනට පැමිනිනු ඇලඩින්
හිතුවය මෙලසටයි පැවසුවේ ඉකිබිඳමින්

අවසාන මොහොතේ උදව්වක් කරන්න පා දයා
ඔබට බුදු බව අත්වේවී ඇලඩින් අයියා
මේ කරාඹු දෙක දෙන්න ගොසින් මගේ මව සොයා
ඇයට පවසන්න ජීවතුන් අතර මෙමං නැත කියා
එපමනයි ලැබුනේ ඈට ඔහු හට පවසන්න
තවත් කෙනෙක් මාන බලා ආවා එතැනට
අන්තිම වෙඩිල්ලත් තැබුවනේ ඇගේ සිරුරට
අවසන් හුස්ම හෙලා නෙත් පියා ගත්තා සදහට…

අනූ බන්ඩාර.349

කූඩු කැඩි තැන තැන ගිය කිරිල්ලී

පික්චර් නොස්ටැලිජියා- 5

හොලිවුඩය පමනක් නොව ලෝක සිනමාවම හැරවුම් ලක්ෂ්‍යය ක් මතට රැගෙන ආ ඒ ඉස්තාන්බූලයේ උපන් විශිෂ්ට යා අන් කවරෙකුත් නොව ඒ අද්වීතිය නාමය ඒලීයා කසාන් ය. අවුරුදු අටක් යාල් නාට්‍ය පාසලේ රංගනය හැදෑරු ඒලියා කසාන් අධ්‍යක්ෂණයට පියවර තැබූවේ ඔහුටම ආවේනික ශෛලියක් කැමරාව කාචය මත තබාගන. ඔහුගේ චිත්‍රපට බොහෝමයක රඟපෑ නලු නිලියන් සම්මාන උළෙලවල් බොහෝමයක සම්මාන සොරා ගත්තේ කැමරාව පිටුපස සිටි ඒ ඉස්තාන්බූල් වැසියා නිසාමයි.

51 දශකයේ රීදි තිරය මත දිග හැරුනු A Streetcar Named Desire කසාන් ගේ තවත් විශිෂ්ටතම නිර්මාණයක්. කසාන්ට ආවෙණික ශෛලය විශිෂ්ට අන්දමින් ගෙත්තම් කරන්නට ඔහුට මේ සලරුවේදි හැකි උනා. බැලැන්ච් නම් යුවතිය සිය සහෝදරිය සොයා යන්නේ ඇයගෙ ජීවිතය නැමැති කුරුලු කූඩුව කඩා වැටි අසරණ වූ මොහොතක.බ්ලැන්ච් පෙලනා මානසික ව්‍යාධිය විසින් ඇයගේ ජීවීතයේ සියලු සන්තුෂ්ටිය සොරා ගන්නවා. අහෝ මේ අසරණ යුවතියට ආදරණීය රැකවලක් අත්‍යවශ්‍ය වූ මොහොතක බ්ලැන්ච් ගේ සහෝදරියගේ සැමියා ස්ටැන්ලි උත්සහය කෙසේ හෝ ඇයව නිවසෙන් පන්නා දැමීමටයි…

මහා බ්‍රිතාන්‍ය වේදිකා නිළි Vivien Leigh කොතරම් විශිෂ්ට නිලියක්දැයි කියා පෑමට කිසිදු ශබ්දකෝෂයක වචනයක් ඇත්දැයි සැක සහිතය. බ්ලැන්ච් නම් මානසික වියුලැත්තියගේ චරිත නිරූපණය ලෝක සිනමාවේ රන් අකුරින් ලිවිය යුතු එක් දැවන්ත පරිච්ඡේදයකි.

එපමන්ද , නැත සහෘදයනි .. තරුණ මාලන් බ්‍රැන්ඩෝගේ ඒ අසහාය රංගනය යලිත් කසාන් ඔහුගේ නිර්මාණයකට එකතු කරගන්නේ ප්‍රේක්ෂකයා අමන්දානන්දයට පත් කරමින්.

A Streetcar Named Desire සියලු ප්‍රතිභාවන් විශිෂ්ටත්වයට කැඳවූ අද්වීතිය කලා කෘතියයි.

අනූ

ob_7143d9_kplnpw1yvkcw5aihimtm4khlgcd

වෙළුම් පටියකින් මුහුන වැසි මිනිසා නොහොත් ආරම්භයත් අවසානයත් නොමැති චාරිකාව.

ඒ සුන්දර එනමුත් අද්භූත සන්ධ්‍යාවේ හෙක්ටර්ට දැනුනේ මහ අමුතු විඩාවක්. ඔහු තීරණය කලා උඩුමහලට ගිහින් නිදි දෙව්දුව ස්වල්ප වේලාවකට වැළඳගන්න. එහෙත් ඒ මොහොතේ සිද්දවෙච්ච සිදුවීම් දෙකක් නිසාවෙන් හෙක්ටර්ගේ නිද්‍රා සුවය බිඳ වැටී අපේ මොලය වෙහසන්නට පටන් ගන්නවා.

පලමු සිදුවීම…..

නිදන්නටයැයි සිතා කාමරයට වැදුනු හෙක්ටර් ඇර දමා තිබුනු කවුළුව ලඟට යන්නේ එය වසා දැමීමට . ඒ මොහොතේ ඔහුගේ ඇස් නතරවෙන්නේ හෙක්ටර්ගේ නිවසට මඳක් ඈතින් තිබුනු ළඳු කැලෑව අස්සේ. ඒ කැලෑවේ යාන්තමට මෙන් කුමක්දෝ රතු පැහැයක් චලනය වෙනවා. පුංචි දුර දක්නය ගෙන ඒ සෙලවෙන රතු පැහැය දිහා බැලුවත් එය දර්ශනය වූයේ යාන්තමට.

දෙවන සිදුවීම

හෙක්ටර්ගේ ඇස් එක් ක්ෂණයකින් නිවස කරා පැමිනියේ දුරකතනයේ නින්නාද ය සමඟින් . හෙක්ටර් ගේ ප්‍රිය බිරිඳ මිදුලේ සිටි නිසාවෙන් හෙක්ටර් දුරකතන සොයා පියමනිනවා . නමුත් දුරකතන යේ එහා කොන සුසුමක් දෙකක් හෙලා නිහඬ වනවා. හෙක්ටර්ගේ දෑස් පුදුමයෙන් ඇලලී යන්නේ ඔවුන්ගේ දුරකතන අංකය කිසිවෙකුත් නොදන්නා නිසාවෙන්. ළඟට පැමිනි ප්‍රිය බිරිඳගේ හාදුවේ වෙනදා දැනෙන රසයක් හෙක්ටර්ට නොදැනුනේ මේ ආගන්තුක සිදුවීම් නිසාවෙන්.

යෞවනියකගේ ඒ නිරුවත් පයෝධර ….

බිරිඳ සමඟ ගෙමිදුලට පැමිනි හෙක්ටර් ගෙල බැඳි දුර දක්නාව යළිත් ළඳු කැලෑව දෙසට එල්ල කලා. මෙන්න අර රතු පැහැය පැහැදිලිව දිස්වෙනවා. ඒ සිටියේ රතු ටී ෂර්ටයක් ඇඳි යෞවනියක්. දුර දක්නාවෙන් හෙක්ටර් දුටුවා ඒ සොඳුරු යෞවනිය ඇයගේ උඩු කය නිරුවත් කරන ආකාරය. ඒ ඇසිල්ලේම ප්‍රිය බිරිඳ දුර දක්නාව හරස් කෙරූ නිසා හෙක්ටර්ට ඉතිරි මොහොත දකින්නට නොහැකි වූවා. බිරිඳ කඩපොළට ගිය ඇසිල්ලේ යලිත් ළඳු කැලෑව ට දුර දක්නාව එල්ලකලත් පෙර දුටු සියල්ල අතුරුදහන් වී තිබුනා.

….

ප්‍රිය බිරිඳ නිවසින් පිටවූ ඇසිල්ලේ යෞවන පයෝධර තුඩු විසින් කිති කැවුනු හිතද ඒ මත කුතුහලය ද රඳවාගන හෙක්ටර් දුර දක්නාවද සමඟ ළඳු කැලෑව දෙසට ඇවිද ගියා. පෙරලී ගිය කුනු බක්කියද වැටී තිබුනු බයිසිකලය ද පසු කොට පුංචි කඳු ගැටය මත්තට හෙක්ටර් ඇවිද ගියා. තුරුණු පයෝධර සහිත ඒ නාරි දේහය කිසිවක් නොමැතිව නිසොල්මනේ වැතිර සිටියා. කිති කැවුනු සිතද ඒ මත බියද රඳවා හෙක්ටර් ඒ කිසිවක් නැති නමුත් දකින්නාගේ හදවත දහසක් සිතුවිලි වලින් පුරවන නාරි දේහය දෙසට ළංවූවා. අහෝ හෙක්ටර්ගේ අත. කිසිවෙකු හෝ පිටුපසින් පැමිණ ඔහු අත තිබූ කතුර හෙක්ටර්ගේ අත මත්තට කිඳා බැස්සා. නොසිතූ මොහොතක සිදුවූ අකරතැබ්බය නිසා හෙක්ටර් වහා එතනින් පළා ගියා. ඔහුට දැනුනා කතුරක් අතැති ආගන්තුකයා ඔහු පසුපස හඹා එන බව. ඈතට දුව ගිය හෙක්ටර් ගසකට මුවා වී දුර දක්නාව තමා පසු කර ආ පෙදෙසෙට එල්ල කලා. මොන පුදුමයක්ද !!!!

වෙලුම් පටියකින් මුහුන වසා ගත් මිනිසෙක් දුර දක්නයකින් ඈත බලන ආකාරය අභිනය කරමින් ඔහු දෙස බලා සිටියා……..

ගෞතම බුදුන් හමුවට පැමිනි භික්ෂුවක් බුදුන්ගෙන් විශ්වය සම්බන්ධයෙන් ප්‍රශ්න අසන්නට පටන් ගත්තා.මානවයා පෙළන මේ සදාතනික ගැටලුවට ගෞතම බුදුන්ට තිබුනේ දාර්ශනික ප්‍රේවශයක්. ගෞතම බුදුන් කියා සිටියේ හීයක් පැමින අපේ ඇඟේ ඇමිනිනොත් ඒ ඊතලය පැමිනියේ කොහේ සිටද කුමන වෙලාවටද හීය විද්දේ කවුරුන් ද සොයනවාට වඩා කල යුත්තේ හීයෙන් සිදුවූ තුවාලයට බෙහෙත් කිරීම වඩාත් යෝග්‍ය බවයි. එනම් මේ විශ්වය , කාලය ගැන ඉවරයක් නැති ප්‍රෙහිලිකාව පුරවනාවට වඩා මානවයගේ මනස නිවා ගැනීම වඩාත් සාර්ථක බවයි.

මේ පෙරදිග දාර්ශනික කතා බහට සමාන්තර ව දිවෙන කතා බහක් ප්‍රේක්ෂකාගාරයට එල්ල කරන චිත්‍රපටයක් තමයි 2008 රිදී තිරයට නැගුනු Timecrime ස්පැනිස් සලරුව. මානවයා කවදා හෝ කාලය ට අභියෝග කලහොත් සරලවම කිවහොත් කාල තරණය සැබෑවක් වූවහොත් සොබා දහම , මානවයා මෙතෙක් ගොඩනඟා ගත් සියලු දේ අර්බුදය ය යනු ඇත. කාලය නැමති ආරම්භයත් අවසානයත් නැති චක්‍රයේ මිනිසා සදහටම අතරමං වනු ඇත. Timecrime ප්‍රශ්න කර සිටින්නෙ එයයි.

එපමනක් නොව සිනමාලෝලියනි timecrime නැමැති දුර දක්නාවෙන් අපට දැකිය හැක්කේ. වැඩිහිටි මානවයා තුල පවතින ලිංගික ලාලසාවටත් අවසානයක් නොමැති බවයි. ඒ ලිංගික ලාලසාවෙන් උත්පාදනය කරන්නේ අනන්තයක් මෙන් සිතුවිලි චක්‍රයක් බවයි.

Timecrimes ඔබ නරඹන්නේනම් හිතවතුනි කිව යුත්තේ ඔබ ඉතාම අවදානයෙන් නැරඹිය යුතු බවයි. සලරුවේ ආරම්භක දර්ශනයත් අවසාන දර්ශනය ත් ඔබ ඉතා දැඩිව කියවා ගත යුතුයි..

22_timecrimes

ප්‍රේමයේ මායා දැලෙහි පැටලි

ප්‍රේමයේ මායා දැලෙහි පැටලුනු කිසිවෙකුත් තව තවත් එහි පැටලි ගියා පමනක් නොව ජිවීතය පවා සුන් කරගත් හ. ප්‍රේමයේ උන්මාදයෙන් වෙලී ප්‍රේමවන්තයෝ කල කී දෑ ඉතිහාසයට එකතු වූයේ ඒ කතා ඇසූ මිනිසුන් ගේ ඇස් බොඳ කරමින්. ආදරයේ නාමයෙන් අප කොතෙකුත් දේවල් කර ඇත් ද? අපි කොතරම් ආත්මාර්ථයේ ගිලී ඇත්ද ? කොතරම් ව්‍යසනයන්ට මුහුන දී ඇත් ද? ….

ජෝර්ජ් ඊස්ට්මන් යෞවනයා නගරය කරා අභිනිෂ්ක්‍රමණය කරන්නේ ඔහුගේ අසරණ දුප්පත් ජීවිතයට සුව පහසුවේ සලුපිළි පළඳා ගැනීමට. ඊස්ට්මන් තරුණයා ඔහුගේ ධනවත් මාමාගේ උදව් සොයා යන්නේ බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගන. ධනවත් ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සුලු රැකියාවක් අරඹන අපේ කතා නායක යෞවනයා එහි උන් තරුණියක් සමඟ පෙමින් වෙලෙන්නේ ආදරයේ පමනක් නොව රාගයේ උනුසුමේ ඇති තරම් වෙලීමේ නොතින් ආශාවෙන්. ධනපතියන් හමුවේ තම ශ්‍රමය වගුරාලන ඇලිස් අපේ කතානායකයා සමඟ ප්‍රේමයේ උන්මාදයෙන් වෙලි දිවා රෑ එක්ව ගත කරනවා.

අහෝ පිරිමින්ගේ පාප කඳට වන්දි ගෙවන අසරණ ඇලිස් . ඇලිස් කුස ඊස්ට්මන් ‍යෞවනයාගේ බීජයක් දලුලන විට ජෝර්ජ් ගේ හිලෑ නොමැති සිත ඇන්ජෙලා සමඟ ආදරයෙන් බැඳෙනවා. දිව්‍යංගනාවන් පවා අසරණ කරන රූ සපුවක් ඇති ඇන්ජෙලා අභිමුඛ ඕනෑම පිරිමි සිතක් උමතුවී ආදරයෙන් වෙලෙනවා. ඉතිං අසරණ ජෝර්ජ් ගැන කවර කතාද ?

අත් හැරීමත් අයිතිකරගැනීමත් අතරේ අතරමංවෙන ජෝර්ජ් කවරෙකු තෝරා ගනීද ? ප්‍රේමයේ ත්‍රිකෝණය ජෝර්ජ් කෙසේ සමච්ඡේදනය කර ගනීද ? අහෝ අසරණ දුප්පත් ඇලිස් .. ජෝර්ගේ ජීවයක් කුස තුල හොවාගන ඇය මොනවා කියා කරන්නද ? ධනවත් රූමත් ඇන්ජෙලා ට ජෝර්ජ් අයිතිකරදී කොහේ පලා යන්නද . සියල්ල ශෝඛාන්තයක් ද …….

1950 දශක ය සිනමා ඉතිහාසයේ අද්වීතියම පරිච්ඡේදයක් බව මෙහි ලියා තැබීම අතිශෝක්තියක් නොවේ. අදටත් සිනමාවට ප්‍රේම කරන්නන්ගේ සිනමා හදවත් ප්‍රේමයෙන් පුරවාලන සිනමා පට බොහෝමයක් පනහ දශකයේ රීදි තිරය මත දිදුලන්නට පටන් ගත් ඒවායි. ඉතිං ඔබ කලු සුදු යැයි කියා , ඒවා හරි වයසයි කියා හෝ නොබලා සිටීනම් සිනමාලෝලියනි ඔබට මඟ හැරෙන්නේ සිනමාවේ ස්වර්ණමය නිර්මාණ පදාසයකි.

ඇකඩමි සම්මානලාභි ජෝර්ජ් ස්ටීවන්ස් ගේ සිනමා ජිවීතයේ හිනිපෙත්තටම නැඟි A place in the sun නිර්මාණය කරන්නේ 1925 ලියවූ නවකතාවක් සහ නවසිය විසි හයේ වේදිකාගතවූ නාට්‍යක් ඇසුරු කොටගනයි. ප්‍රේමයේ තුංමංසලේ අතරමං වූ තරුණ ජෝර්ජ් ට පන පොවන්නේ Montgomery Clift . ක්ලිෆ්ට් හොලිවුඩයේ තමන්ටම ආවේනික වූ රංගන ප්‍රතිභාවක උරුමක්කාරියෙක්. අසරණ ඇලිස්ට පන පොවන්නේ සම්මානලාභි දශක හයක් පුරාම රීදි තිරය බැබලවූ Shelley Winters. ෂෙලි වින්ටර්ස් විසින් ඇලිස් නම් ග්‍රාම්‍ය තරුණියගේ චරිතය කොතරම් සාර්ථක ලෙස නිරූපනය කරනවා දැයි කිවහොත් එම වසරේ සම්මාන රාත්‍රීන් ගනනාවක ඇයගේ නාමට නින්නාද දෙනු ලැබුවා.

ඇන්ජෙලා ලෙසින් ජෝර්ජ් පමනක් නොව මිත්‍රවරුනි අපව පවා උන්මන්තකයන් බවට පත් කරන්නේ හොලිවුඩයේ සදාතනික තාරකාවක්. Elizabeth Taylor හොලිවුඩයේ බිහිවූ පුරාවෘත්තයක් ලෙසයි සැලකෙන්නේ . අහිංසක ලීලාවත් මුලු ශරීරයම කිළිපොලා යන සරාගි නෙත් යුගලකුත් හිමි එලිසබත් ටේලර් එදත් අදත් හෙටත් නොනිමි දැල්වෙන තාරකාවකි.

” ප්‍රේමයේ නාමයෙන් අප කොතරම් හඬා වැටී ඇත් ද? කොතරම් සිනාසී ඇත් ද? හෙටත් අප වැළපෙනු ඇත. සිනාසෙනු ඇත. ප්‍රේමය මේ කිසිවක් නොදැන ඔබ සහ මා අතර සැරිසරනු ඇත. ඉතිං සහෘදයිනි ප්‍රේමය ඇත්තේ ආත්මාර්ථයේ අයිස් වතුරේ ගිල්වා දමන්න්ට නොවේ. අයිස් වතුරේ ගිල්වා දැමු විට සියලු සොඳුරු සිතුවිලි ගල්ගැසී අයිස් වතුරේ මිහිදන් වනු ඇත”

Directed by

George Stevens

Starring

Montgomery Clift

Elizabeth Taylor

Shelley Winters

IMDb -7.8

Rotten Tomatoes- 77%

අනූ

img_8823

පික්චර් නොස්ටැලිජියා

◦ ඇමරිකාවේ නැගෙනහිර පළාතේ කාන්තාර සීමාවේ පිහිටි කුඩා නගරයක් වන කලු කන්දේ කොච්චි ස්ටේෂමේ අවුරුදු හතරකට පස්සේ දුම්රියක් නවත්තනවා . අවුරුදු හතරකට පස්සේ කෝච්චියක් නවත්තන එක ඒ පුංචි නගරයේ අල්ප ජනගහනයට විශාල ප්‍රශ්නයක්. හැමෝම තමතමන්ගේ වැඩ පැත්තකට දාලා කෝච්චිය දිහා බලන් හිටියා. ඇත්තම කිව්වොත් කලු කන්දේ මිනිස්සුන්ට කරන්නයි කියලා මහා ලොකු වැඩක් තිබ්බේ නෑ. මුලු නගරයටම තිබ්බේ කෝච්චි ස්ටේෂමක්, පුංචි හෝටලයක්, ගරාජයක් සහ පොලිස් ස්තානයක්. එක පිම්මට ඇදිච්ච කෝච්චි පාරේ තනි රකින්න හිටියේ වටේම තිබ්බ ගල් කඳු යාය විතරයි.

අර නවත්තපු කෝච්චියෙන් සූට්කේසයකුත් අතට අරන් හොඳට ඇඳ පැළඳ ගත්ත මහත්මයෙක් බිමට බැස්සා. ඒ මහත්තයට තිබ්බේ එක අතයි. ඉතුරු අතේ තනියට වගේ අර සූට්කේසය රඳවගන හිටියේ. කලු කන්දට ආපූ මේ අමුත්තා දිහා හැමෝම බැලුවේ සැක සංකා ඔලුවේ තියාගන. මොකද මේ ගල් කඳු වටකරගන ඉර රශ්මියෙන් බැටකන පුංචි නගරය විශාල රහසක් හංගගන හිටියේ……

ප්‍රධාන රංග භූමිකාවට පන පොවන ස්පෙන්සර් ට්‍රැසි හොලිවුඩ් සිනමාවේ ස්වර්ණමය අවධියේ බිහිවුන ශ්‍රේෂ්ඨතම නලුවෙකු ලෙසයි අදටත් පිලිගැනෙන්නේ . ට්‍රැසී ප්‍රකටව සිටින්නේ ස්වභාවික රංගන වින්‍යාසයයේ සුපිරිතමයෙකු ලෙසයි. මේ චිත්‍රපටයට අධ්‍යක්ෂක ජෝන් ස්ටැජස් ට්‍රැසීව යෝජනා කරන කාල සීමාවේ ට්‍රැසි ඔහුගේ රංගන ජීවිතයෙ මෙන්ම මධුලෝලිත්වයේ උපරීමයට ලඟා වී සිටියා. කෙසේ හෝ අවසානයේ ට්‍රැසී ප්‍රධාන භූමිකාවට පන පොවන්නට අවකාශය ලබා ගත්තා.

අධ්‍යක්ෂක ජෝන් ස්ටැජස්ගේ සිනමාව සෑම විටම ප්‍රේක්ෂකයා කුතුහලය පිරුනු ලෝකයකට කැඳවාගන ගියා. The Great Escape නරඹා ඇති ඇත්තෙකුට ඔහුගේ සිනමාව අමුතුවෙන විස්තර කිරීමට වුවමනා දෙයක් නොවේ.

( black rock යන්න කලු කන්ද ලෙසින් මෙහි අකුරුකොට ඇත)

Bad Day at Black Rock-1955

IMDb -7.7

Rotten tomatoes- 97%

Directed by

John Sturges

Starring

Spencer Tracy

Robert Ryan

Anne Francis

Dean Jagger

Walter Brennan

Ernest Borgnine

Lee Marvin

පික්චර් නොස්ටැලිජියා

ලෝකය පිරී තිබෙන්නේ විවිධාකාරයේ මිනිස්සුන්ගෙන්.මේ අතර සිටින්නට පුලුවන් අප මෙතෙක් ගොඩ නඟා ගත් සියලු දේවල් අපෙන් සොරකම් කරනා මිනිසුන්. කාවෙකු පොතක් සෙමින් සෙමින්  කා දමන්නා සේ   අපේ අනන්‍යතාව සොරකම්  කරනා  සොරුන්. මේ අබුද්දස්ස කාලයේ මේ අනන්‍යතා සොරකම් අපි නිතර දෙවෙලේ දකිමින් සිටින්නෙමු.පරණ ගායකයන්ගේ දැැවන්ත  සෙවැනැළි මත්තෙන් මතුවෙන සුපිරි තරු ගායකයන් ඒ සෙවනැළි බොඳ කරමින් සිටිති.රංගන වේදින්ටද එසේමය. ඔබ මම අප සියලු දෙනා නියෝජනය කරන සියලු වෘත්තීන්ට මෙය අදාලය.

ඉහත පොතේ ගුරු පූර්විකාව ලියන්නට යෙදුනේ හොලිවුඩයෙන් බිහිව ලෝක සිනමාවේ දිදුලන අග්‍රගන්‍ය සිනමා කෘතියක් ඔබ හමුවෙ තැබීමටයි. 1946 මැරි ඕ  හට ඇයගේ මිතුරු නිලියක් ඇගේ පුද්ගලික ලේකම් වරියක් ගැන කියූ කතාවක් අසා සිටි මැරි ඕ The Wisdom Of Eve  කෙටි කතාව රචනා කලා. 1949 රේඩියෝ නාට්‍යක් බවට පත් වූ මෙ කෙටි  කතාව මැරිි විසින් 20th century studios  ඩොලර් 5000 කට විකුනා දැමුවා. ඉන් අනතුරවයි  All About Eve සිනමා  කෘතිය නිර්මාණය වූයේ.

බ්‍රෝඩ්වේ හි අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය නිලි මාර්ගෝ චැනින්ග් සිටින්නේ මැදි වයස කරා පියමනිමින්. රූබර ,ජනප්‍රිය මාර්ගෝ  ගේ සිත නිරන්තර පීඩා විඳිමින් සිටින්නේ ඇයගේ වයසත් සමග ඇයගේ අනාගත වෘත්තීය කොයි පාරක ගමන්  කරනු ඇතිදැයි කියා.මේ අතර අතර අහම්බයකින් වාගේ මාර්ගෝ හමුවෙන ඇයගේ දැඩි රසිකාවියක් සේ පෙනෙන ඊව් හැරින්ංග්ටන් නිසා සියල්ලකගේම ජීවිත පිටපත්  අලුතින් ලියවෙන්නට පටන් ගන්නවා.ගැහුනු සිත්වල ලියා ඇති පුංචි පුංචි ඊර්ෂ්‍යාවන් මාර්ගෝගෙ සිතේ දලුලන අතර ඒ ගැහුනු සිත්ම අරක්ගත් නපුරු මයාකාරි සිතුවිලි පුරවා ගත් ඊව් ගේ දිය සුළිය මැද්දට ඇඩිසන්,කැරන්,බිල් සහ ප්‍රේක්ෂක අපටත් ගසාගන යන්නට සිදුවෙනවා .

ඔස්කාර් සම්මන 14කට නාම යෝජනා වූ මේ සලරුව ඉන් 6ක් දිනා ගත්තා. තවත් සුවිශේෂිම කාරණය නම් ඔස්කාර් ඉතිහාසයේ කාන්තා නියෝජන 4ක් නාම යෝජනා වූ එකම සලරුව මෙයයි. එයිනුත් මාර්ගෝ ලෙසින්සු විශිෂ්ට රංගනයක  යෙදුනු බෙටි ඩේවිස් හට සම්මානයක් එම අවුරුද්දේ නොලැබි යාම අවසනාවක්. බෙටි ඩේවිස් නම නොදන්නා කෙනෙකුට පැවසිය යුත්තේ හොලිවුඩය එදා මෙදා තුර බිහිකල ශ්‍රේෂ්ටතම රංගන පෞරුෂයක් බවයි. ඇයත් ඇයගේ සිගරට්ටුවත් හොලිවුඩයේ වෙනස්ම ආකාරයේ සලකුනක් ලකුනු කොට තැබුවා.විවාහයින් හතරක් පසුකොට ගිය බෙටී ඩේවිස් මේ චිත්‍රපටයේ ඇයගේ පෙම්වතා ලෙසින් නිරූපනයේ යෙදෙෙන ගැරී මෙරිල් සමගින් සැබෑවට පෙමින් බැඳ විවාහ උනා.

 

All About Eve -1950

Directed by Joseph L Mankiewicz

Starring -Bette Davis , Ann Baxter , George Sanders , Celeste Holm

IMDb-8.2

Rotten tomatoes -99%

 

 

පික්චර් නොස්ටැලිජියා

පික්චර් නොස්ටැලිජියාthe-asphalt-jungle

(කිව්ව විදිහට ඔන්න වැඩේ පටන් ගන්න යන්න. මුලින්ම පනහ දශකයේ චිත්‍රපට අතපත ගාන්න තමයි මේ ලැහැස්ති වෙන්නේ. අද මුල්ම චිත්‍රපට )

The Asphalt Jungle- 1950

සොරකමෙහි මනා නිපුනත්වයකින් හෙබි ඩොක් අව්රුදු හතක බන්ධනාගාර නිවාඩුව ගතකොට යලිත් සමාජගතවෙන්නේ තවත් සූක්ෂම සැලැස්මක් හිස මත තබාගන. මේ අතර එම්රිච් නැමැති නිතීඥයා සිටින්නේ කරවටක් ණයකන්දරාවක ගිලෙමින්. එම්රිච් ව කෙසේ හෝ හමුවෙන ඩොක් සේප්පු ඇරීමේලා අති දක්ෂ ලුයී , ගzස් සහ ඩික්ස් එකතුව අර අඳින්නේ නගරයේ ඇති බැංකුව බිඳ එහි ඇති ඩොලර් මිලියන භාගයකට අධික ස්වර්ණාභරණ සොරකම් කිරීමට. නමුත් නිතීඥයන්ගේ හුරු සුපුරුදු සටකපටිකම් මැද්දේ සියල්ලටම ගමන් ජරන්නට සිදු වන්නේ අන්තරාදායක අඩවියකට…

පනහ දශකය පටන් ගත්තේ ලෝක සිනමාවෙ නැවුම් තාරකා එළි දල්වමින්. නිර්මාණකරුවන් නොයෙකුත් අන්දමේ සිනමා ශානරයන් අත්හදා බලමින් විශිෂ්ට නිර්මාණ බිහිකරන්නට පටන් ගත්තා.

1949 මේ නමින්ම W.R බර්නෙට් ගේ නවකතානුසාරව ජෝන්ට් හුස්ටන් විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුනු මේ චිත්‍රපටය පනහ දශකයේ මතු නොව මේ මොහත දක්වාම බිහිවුන විශිෂ්ට චිත්‍රපටයක් බව අවිවාදිතය. ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන ගනනාවක් සඳහා යෝජනා වෙන්නට මේ චිත්‍රපටයට හැකි උනා.

තවත් ඔබව උන්මාද කරන්නට මැරලින් මොන්රෝට හැකිවේවි. සිනමා ලෝකයේ කතාබහට ලක්වෙන අන්දමේ චරිතයක් මොන්රො රඟපාන්නට යෙදුනු පළමු සලරුව මෙයයි.

එසේනම් මිත්‍රවරුනි ඊලඟ පික්චර් නොස්ටැලිජියාවෙන් හමුවෙමු..

Directed by
John Huston

Starring
Sterling Hayden
Louis Calhern
Jean Hagen
James Whitmore
Sam Jaffe
John McIntire
Marilyn Monroe

Rotten Tomatoes -97%
IMDb -7.